javascript:void(0)

Thursday, December 15, 2011

සෙවනැල්ල අත් නොහරිමි.....

..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

 

සෙවනැල්ල අත් නොහරිමි...

     එනමුදු,

     ඔබ මා හැර දා ගොස්,

    නිමාව මෙයද?

    නොඅදහමි;

    මිථ්‍යාවට මුලා වූ

    යම් දෙයක් වෙද

    එයම අදහමි....

    සෙවනැල්ල අත් නොහරිමි....

ආදරෙයි කියන අය..

..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

                 ඇත්තටම අපිට ආදරේ කරනවයි කියල අපි හිතන අය අපිට ආදරේ කරනවද? අපිට නොහැඟෙන කොච්චර දේවල් එයාලගෙ හිත් වල තියෙනව ඇත් ද අපිව අහිමි කරගන්න අකමැතිව එහෙම කිවුවට?

          මසැසට යටින් නුවණැසට නොපෙනෙන දේවල් කොතෙක් නම් තියෙනවා ඇත්ද?


2010/10/24

Wednesday, December 14, 2011

තනිකම...

..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."


             

            ඔන්න එකෝමත් එක දවසක ඒ කියන්නෙ දෙසැම්බර් අට වෙනි අඟහරුවාද හවස හතර හමාරට විතර අතරමං වෙලා හිටපු පවනි ආයෙමත් ඇවිත් මගෙ මේසෙ ඉස්සරහ පුටුවෙ වාඩි වෙලා ඉන්නව. එයාගෙ තැඹිලි පාට ඉරි ඉරි තියෙන ගවුම තැන් තැන් වලින් ඉරිල! ඒ සමහර තැන් වලින් යට සායත් පේනව! ගවුමෙ කර ගාවිනුත් ගොඩක් ඉරිල. එයා එතන ඉඳගෙන හිටියෙ හරියට සුන්නත් කරල වැසිකිලි යන්න අමාරුවෙන් ඉන්න සෝමාලියානු ජාතික ගැමි කෙල්ලෙක් වගේ. මම එහෙම කිවුවෙ මොකක්දෝ කියාගන්න බැරි අපහසුතාවකින් එයා එතන හිටපු නිසයි. ගොඩක් දුක හිතෙන විදියට එයා මං දිහා බලාගෙන ඉන්නව දැක්කත්, මට ඒ බැල්මෙන් මිදෙන්න උවමනාවකුත් ඒ වෙලාවෙ තිබුනෙ නෑ.

            හීතල හුළං හමන නත්තල් මාසෙ වුනත් මගෙ කාමරේ ජනේලෙන් පිටත මට පෙනුන එක ගහක් වත් එක දශමයක් වත් හෙල්ලුනේ නෑ. හරිම නිහඬයි. මම පිට කරන එක හුස්ම බිඳක් ඒ ගහක කොළයක් හෙලවෙන්න හේතුවක් වේවිදෝ යි ඉතාම දරුණු බියජනක හැඟීමක් මගෙ හදවත පතුලටම කිඳාබැහැල තිබුන. ඒ අතරින් ඒ නිහඬතාවයත් බිඳගෙන දෙපැත්තට වැනි වැනී පුංචි හිම කැටිති වැටෙනව මම ජනේලෙන් දැක්ක. 

            මගෙ ඇස් අදහගන්නත් බෑ. පිංතූර වලින්, වීඩියෝ වලින් දැක්කට මම කවදාවත් ඇත්තටම හිම වැටෙනව දැකල තිබුනෙ නෑ. එක චූටි හිම බිංදුවක්ගේ ඉස්සරහ පොකුනට වැටෙනව මම බලාගෙන හිටිය... නෑ....
නෑ... ඒ....

          ඒ හිම නෙමෙයි. යෝධයින්ගෙ කඳුළු. අපේ වත්තට එහා වත්ත සම්පූර්ණයෙන්ම එළි කරල මහ දැවැන්ත ගස් කපල ඒවට ගිණි තියල. ඒ ඇවිලුණු අළු මගේ පපුවත් තද කරගෙන බිමට වැටෙනව නේදෝ යි කියල මට හිතුන. "මහ බල කණු" වගේ කොන්ද කෙළින් තියාගෙන හිටපු ගස් පොළවට දණ ගස්සවල. ඒ ගස් අඬනවයි කියල පවනි මට ඒ වැටෙන අළු කෑලි පෙන්නනව. දැන් ඒ වත්තෙ කිසිම ගහක් නෑ. හාවො, මීමින්නො, මුගටි එහෙම හිටපු කැලේ... ඒත් දැන් ඒ කැලය එතන නෑ.  ඒක මගෙ මතකයෙ අංශුමාත්‍රයක් විතරයි.

          මම ඒ දිහා බලාගෙන හිටිය.එකපාරටම මම ඒ වත්ත මැද්දෙ ඉන්නව මම දැක්ක. මගෙ ඇස් කළුවර වුනා. ආයෙ මම එළිය දකිනකොට මම හිටියෙ ඒ වත්තෙ මැද. පේන තෙක්මානෙක කිසිම කෙනෙක් නෑ. මම.., මම විතරක්මයි. එතැන පුංචි ගස් කීපයක් තිබ්බ. ඒ හැර වෙන කිසිම දෙයක් තිබ්බෙ නෑ. මට ලොකු සතුටක් දැනුන. මට කරදර කරන්න කවුරුත් නෑ.

          ඒත් ඒ සතුට තිබ්බෙ බොහොම ටික වෙලාවයි. මට කතා කරන්නවත් කවුරුත් නැති බව දැනුනෙ එතකොට. මට සතුටුයි කියල කියන්නවත් කෙනෙක් හිටියෙ නෑ. අනේ!! මම තනි වෙලා. මම බිම ඉඳගත්ත. ගම්පහ විතර ටවුන් එකක් ගැන හිතන්න. එතන ගොඩනැගිලි, බස්, අජීවී, සජීවී කිසිම දෙයක් නෑ. ඔයා විතරක් තනියම. ඔයාට වතුර තිබහ වත් බඩගින්නක් වත් දැනෙන්නෙ නෑ. ඔයාගෙ හොඳම යාලුව නෑ. වෙන යාලුවොත් නෑ. අම්මත් නෑ. තාත්තත් නෑ. ඔයා විතරක් තනියම. ඔයා එක දිගට දවස් තුනක් විතර දිවුවොත් ඔයාට කතාකරන්න එක මිනිහෙක්ව හම්බ වෙන්න පුලුවනි. ඒත් ඔයාට එහෙම දුවන්න බෑ. ඒ අතරෙ ඔයාට මතක් වෙනව නුදුරු අතීතෙ ඔයාගෙන් වියෝ වුණු සමීපතමයන්... ඔයාගෙ හදවත බර වෙලා ඔයාට ඇඬෙන්න වගෙත් එනව. ඔයාට ඒ වෙලාවෙ කොහොම හැඟීම් පහල වෙයිද? මැරෙන්න? දුවන්න? මුකුත් නොකර එතනටම වෙලා ඉඳගෙන ඉන්න? ?

  අන්න ඒ වගේ හැඟීමක්, අර වත්ත මැද්දෙ මුකුත් නැතිව බිම ඉඳගෙන හිටපු මටත් ඇති වුනා...

             විශ්වාස කරන්න අන්න ඒ ඒ හැඟීම, ඒ චිත්‍රය, ඒ මනෝභාවයන් තමයි මගෙ මේසෙ ඉස්සරහ පුටුවෙ වාඩි වෙලා හිටපු පවනිගෙ ඇස් දෙක තුළත් මම දැක්කෙ.....!!

Thursday, November 3, 2011

බාල බොළඳ????

..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

              අවුල් වෙලා දූවිලි පිරුණු, පොත්පත් පමනක් නොව විටෙක රෙදි පවා තබා තිබූ මේසය මත මාගේ සටහන් පොතෙහි සටහනක් තබන තවත් එක දවසක්. අහසත් එක්ක තරහ වෙච්ච පුංචිම පුංචි වැහි බිංදු එකින් එක අහස අත ඇරල පොළොව හොයාගෙන එනව. පෙරේද වගේ නෙමෙයි අද එයත් එක්ක මේඝලතායි විජ්ජුලතායි දෙන්නම එකතු වෙලා!!!  තවත් එක පුංචි වැහි බිංදුවක් මට ජනේලෙන් පේන තැඹිලි ගහේ අත්තක් දිගේ හිමින් හිමින් රූටගෙන ඇවිත් බිම තිබ්බ තණකොළ අත්තක් බදාගෙන සිප ගන්නව.. ලැජ්ජ නැද්ද මන්ද මෙහෙම ප්‍රසිද්ධියෙ හැසිරෙන්න...!!
  
දෙවියනේ..!
            මම එහෙම කියන වෙලාවෙත් පවනි මගෙ ළඟ හිටියෙ නෑ. රාස්සිගෙ අව්ව වැටිල සීතල මිශ්‍ර තුනී අන්ධකාරයක් ඒ වෙනකොටත් මගේ කාමරේ ඇතුළට ගොඩක් කාන්දු වෙලා තිබුන. මට සෑහෙන්න බය හිතුන. මේ බය හිතෙන අඳුරත් එක්ක මගේ පවනි'ට මොකක් හරි කරදරයක්වත් වෙලා ද කියල..... මගේ ඇඟේ රෝම කූප කෙළින් වුනා! "මගේ පවනිට කරදරයක් කරල තිබුණොත් එහෙම, සේරටම කොටනව"  කියල මම හයියෙන් කෑ..ගැහුව! මගේ හඬ මැකී යනවත් එක්කම මගේ හඬ පරයා පවනි කෑ ගහන සද්දෙ මට ඇහෙන්න ගත්ත.. මම ටිකක් දැඩිව, වාඩි වෙලා හිටිය පුටුවෙන් ඉස්සිලා ජනේලෙ විනිවිදගෙන පේන මිදුල දිහා බැලුව. ඒ වෙලාවෙ උණුසුම් ආදරණීය හැඟීමක් මගෙ මුළු ඇඟම වෙළාගන්නව වගේ දැණුනත් ඊට වඩා දැඩිව විරුද්ධව මගේ කෝපය නැඟී හිටිය.

         මෙන්න මේ කෙල්ල මහ වැස්සෙ මිදුලට වෙලා නටනව කිසි ගානක්වත් නැතුව!!!
                 "බිමට වැටෙන සෑම වැහි බිඳුවක්ම තම දෑතින් පොඩි කිරීමට ඈ මහත් උත්සාහ දරයි. විටෙක ඈ දෑත එකතු කර දෑතට එකතු වන වතුර ටික වේගයෙන් උඩ දමා එයට හිස අල්වයි. පවනි තවමත් තුන වසරේ පමණ දැරියකැයි මට හිතෙන්නේ මෙවන් වේලා වලටය. තවත් විටෙක ඈ අහස මත ඇති සියලු දේ තම හිසට වැටෙන්නාක් මෙන් සිතා දෑතින් හිස බදාගෙන බිමට පාත් වෙයි. ඇගේ ලොකු තාත්තා කියා දී ඇති පරිදි ගහ යට වැහි දෙක දැයි බැලීමට මෙන් ඈ තැඹිලි ගසේ අතු හා එක එල්ලේ සිට ගනියි. මේ සියල්ල දකින විට මා හට මාගේ කුඩා කාලය මතක් වේ. පවනි විසින් මේ රඟ දක්වන්නේ මගේම බාල විය නොවේදැයි විටෙක මට සිතේ. ඒ එසේමය. ඒ මාගේ බාල බොළඳ ළමා කාලයයි.

අහු වුණා හොරා!!
..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."


අහු වුණා හොරා!!

හෙමින් සැරේ...

ළඟට ඇවිත්..

සද්දයක් වත් නැතුව;

මගෙ ප්‍රශ්න පත්තරේ අරන්

යන්න හදනකොටම...!!!

අහුවුණා!!!

ඒත් මගේ logic paper එක

හුළඟ හොරකම් කරන්න හැදුව කියල,

කාට කියන්නද?


හොරා!!

මගෙ ප්‍රශ්න පත්තරේ

විතරක් නෙමෙයි...

තව දෙන්නෙකුගෙනුත්

හොරකම් කරන් යනව...

එතකොටයි මම දැක්කෙ!

:-)


Tuesday, October 11, 2011

තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය ii
..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

 වෙනදට මගේ දුක අහන නිල් අහස, අද නපුරු කළු වළාකුළු වහගෙන. එයත් මට ඔරවනව. ඉස්සරහ බිත්තියෙ ඇඳල තියෙන අවුරුදු ගාණක් පරණ, පුංචි අලි පැටියත් මට ඔච්චම් කරනවද මන්ද කියලත් මට හිතෙනව.
මගෙ උත්තර පත්තරේ මම ම ලියපු අකුරු මට විරිත්තනව. ප්‍රශ්න පත්තරේ හිටිය එක "ඊ" යන්නක් මගෙ කණට රිංගල,"පවනි...ට අද නම් ලොජික් මතක නෑ" කියල කෑ... ගහනව.
 ඒ අහගෙන හිටපු තවත් අකුරු ටිකක් පෑනත් එක්ක එකතු වෙලා උත්තර පත්තරේ වම් පැත්තෙ කොනට වෙන්න,"පවනි...ට ලොජිc කෙළ වේ" කියල ලියනව.
මට තරහ ගිහින් ඒ අකුරු ටිකයි පෑනයි අල්ලල බැම්මට උඩින් office  එක ඉස්සරහ පොකුණට වීසි කළා. ඒක දැකපු මගෙ මහපොට ඇඟිල්ලෙ නියපොත්ත හූ කියනව.
මම ඒ ඔක්කොගෙන්ම අහනව "තමුසෙල ඔහොම මගෙ හිත විකාර කරද්දි මම කොහොමද උත්තර ලියන්නෙ?".
ඒම කියපුවම එයාලට මං ගැන ගොඩාක් දුක හිතිල කලින් හිටිය තැන් වලටම යනව. මට එයාල ගැන අනුකම්පාවකුත් හිතෙනව. ඒත් තව විනාඩි පහෙන් පේපර් එක එකතු කරනව...
:(  

ඈ.....
..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

අනේ මාව අත අරින්න..
මට බයයි...
මම එහෙම කිවුවත් එයාගෙ ගොඩක් මෘදු සීතල අත්, මාව අත අරින්න සූදානම් නෑ... මං එයාගෙ කණට ළං වෙලා මිමිනුව..,"මට බයයි... මාව අත අරින්න..!!" කියල. මම එහෙම කිවුවත් මාව වැළඳගෙන හිටිය ඒ ගොඩක් මෘදු සීතල අත් තිබුණු පුංචි කෙල්ල මාව අත අරින්න සූදානම් නෑ...

මම ඉර දෙවියන්ට කන්නලවු කලා,"මට උදවු කරන්න!!"

ටික වෙලාවකින් එයා මගෙ උදවුවට ආව... තනියම නෙමෙයි...!
එයාගෙ රළු සටන්කරුවෙක් වේගයෙන් ඇවිත් මාව වෙළාගෙන හිටිය ඒ පුංචි ගෑණු ළමයව ඇදගෙන වේගෙන් ඈ...තට ගියා...

එයාව කරදරයක් වෙලා හිටපු මට ඒ වෙලාවෙ නම් එයාට කරදරයක් වෙයිද කියලත් වෙයිද දන්නෑ කියලත් හිතුන..

තවත් අඳුරු දවසක මාව සිප වැළඳගන්නට ඒවි කියන අහිංසක සිතුවිල්ලත් හිත කෙළවරක කැටි කරගෙන මම ආයෙමත් පියවි ලෝකෙට ආව......



                                                  නැවත හමුවෙමු සිහින් මදනළ....  

Thursday, September 29, 2011

......................................
"පවනි"
..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

                                   "එයා හරිම එඩිතරයි". වෙලාවකට අර යුගාන්තය නවකතාවෙ එමලින් වගෙ හරිම ලැජ්ජාශීලීයි.. "එහෙත් නොබිඳෙන සිතක් ඇතියකි. ඉහළ පැලැන්තියේ අය සමග කටයුතු කරද්දී ඇගේ උගත්කම පරයමින් ගමේකම මතුව පෙනෙන්නේ යැයි විටෙක සිතේ". පිරිමි නමක් තියන්නෙ නැතුව මේ වගේ නමක් තියන්න මට හිතුනෙත් මේ වගේ ලැජ්ජාශීලී ගතිය නිසාම තමයි... "කොතරම් කීවද ඈ විටෙක බොළඳය. එසේ කියන්නේ ඈ කෙතරම් බොළඳ බව පිලිකුල් කලත්, ඉතා දැඩි බරපතල කරුණුවලදී ඒවා ගැන සිතා ඈ බොළඳ ලෙස දුක් වන බැවිනි. ඈ ඉතා සංවේදීය. 

                                 කණ්ඩායමක් සමග කටයුතු කරද්දී ඈ තම කණ්ඩායමේ අය පිළිබඳව තමාටත් වඩා කල්පනා කරයි. ජීවිතයේ බොහෝ ගැටළු වලට මුහුණ දී ඇති ඈ අත්දැකීමෙන්ම තවත් අයෙකුට ඇතිවන එවැනි ගැටළු බුද්ධියෙන් අවබෝධ කරගෙන කටයුතු කරයි. කතා කිරීමට ඈ බිය නැත. තාත්තාට වුවත් කිව යුතු දේ කෙලින්ම කියා දමයි.  ඈ නොසිතන තරම් ආත්ම විශ්වාසය මත පදනම් වූ ශරීර ශක්තියක් ඈ සතුය. සබකෝලය ඇයට තවත්පයට පෑගෙන දූවිල්ලක් බඳුය.


පවනි කියන්නෙ මම ගොඩක් ආදරේ කරන මාත් එක්ක රණ්ඩු වෙන මගේම ආදරණීය "සිත"... සමහර වෙලාවට "පවනි" කියන්නෙ මගේ සිතුවිලි...

Thursday, September 8, 2011

ලෙඩ වාට්ටුව..
..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

ඇඟට නම් කිසි අමාරුවක් නැහැ.. ඒත් විශ්වාස කරන්න මම දැන් ඉන්නෙ කොළඹ නවලෝක රෝහලේ හයවෙනි තට්ටුවෙ අංක 6602 කියන කාමරේ ඇඳක් උඩ!! නැහැ...

නැහැ... ඔයාල හිතුව වැරදියි! මගෙ අසනීපෙකට නෙමෙයි මම මෙතනට ආවෙ. මගෙ මාමට ටිකක් සනීප නැති වුන නිසා එයාට බෙහෙත් ගන්නයි ආවෙ. ඒත් එයා ලඟ නවතින්න කවුරුවත් නැති නිසා මම කැමැත්තෙන්ම නැවතුනා.. ඒක කළ යුතුයි කියල මට හදවතින්ම දැනුන... මට ඇතිවෙච්ච ප්‍රශ්නත් එක්ක මම මාම එක්ක ලොකු බැඳීමක් ඇති වුණා කියලයි පවනි නම් කියන්නෙ..
ඇත්තම කිවුවොත් මම ඉන්නෙ කොන්ක්‍රීට් වනාන්තරයක කියල කිවුවොත් තමයි හරි. ඒත් එහෙම කිවුවට වායුසමීකරණය කරල තියෙන මේ කාමරේ ඉද්දි මගෙ හිත හරි එකඟ බවක් පෙන්නනව. තේරුමක් නැති අදහස්, පවනිත් ටිකින් ටික ඈතට යනව දැනෙනව. එයා තව ටිකක් ඈතට යනකම් ඊළඟ ඡේදය පටන් ගන්න මගේ අදහසක් නෑ.
මම හිතන්නෙ විනාඩි දෙකකට වඩා මට බලාගෙන ඉන්න වුනේ නැහැ. මම ළඟටත් ඈතටත් පෙනුනෙ ලොකු කුඩා ගොඩනැගිලි ගොඩක්. ඒ අතරින් පතර ගහක් කොළක් නොතිබුනාමත් නෙමෙයි. මට හොඳට පේනව කොම්පඤ්ඤ වීදියෙ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තට්ටු විස්සක විතර ගොඩනැගිල්ල. ඒ දිහා එක දිගට ටිකක් වෙලා බලාගෙන ඉන්නකොට ටිකින් ටික මගේ ඇස් දෙක රිද්දෙන්න ගත්ත. ඒ නිසා මම ඒ දිහා බලාගෙන ඉන්න එක නවත්තලටිකින් ටික මගේ ඇස් දෙක එහා මෙහා කරනකොටයි දැක්කෙ හමන හුළඟට විරුද්ධ වෙලා හිටපු කොට්ටං ගහ. ඒක දකිද්දි මගෙ ඇස් දෙකට දැනිච්ච සනීපෙ ඔයාලටත් අත්විඳින්න පුලුවන් වුණා නම්, ඔයාලත් ගොඩක් පුදුම වෙයි. ඒ තරම් ඒ දසුන හරිම සනීපයි ඇස් දෙකට....
මම ඒ දර්ශනයට ගොඩක් ඇදිල ගියා. මම කාමරේ සඳළු තලයට ආව. ලෝකෙ තියෙන ලස්සනම දේ මොකක් කියලද ඔයාල හිතන්නෙ? ;) මම නම් හිතන්නෙ කාන්තාව තමයි මේ ලෝකෙ ලස්සනම!! (එහෙම නේද? ;) ) චිත්‍ර ශිල්පීන්ට අනුව නම් ලෝකෙ තියෙන ලස්සනම චිත්‍රය "නිරුවත් කාන්තා" රූපය යි.
ප.ලි. ඒත් ඔයාලට පුදුම ඇති මම මොන කෙහෙල්මලක්ද මේ කියවන්නෙ කියල... මට ඉදිරියෙන් තියෙන (මම තවම ඉන්නෙ මේ කාමරේ සඳළුතලේ ;) ) නවලෝක රෝහල් කාර්ය මණ්ඩලේ කාන්තා නේවාසිකාගාරෙ ඉන්න කෙල්ලො දෙන්නෙක් මාව බයිට් කරන්න හදනව. :) එයාල ඇත්තටම ලස්සනයි. මම එහෙම කිවුවෙ, අයිබ්‍රෝස් හදල කොන්ඩෙ අයන් කරල ලිප්ස්ටික් ගාගෙන කෘතිමව ලස්සන වෙන්න හදන අද කාලෙ සමහර ගෑණු ළමයින්ට වඩා අමුතු ලස්සනක් (ඒ මොකුත් නොකරපු)  එයාලගෙන් මම දැකපු නිසයි. ඔයාලට ඕනෙ නම් එයාල මට දුන්නු එයාලගෙ දුරකතන අංකත් මම ඔයාලට දෙන්නම්..... ;)
ඒත්..
ඒක හරි නැහැනෙ නේද?
ඒ ඇති....... 

Wednesday, August 31, 2011

13 (X) පංති කාමරය තුළදී.... ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

පිංතූරෙ බාගත්තු තැන නම් හරියට මතක නෑ
               අනේ මංද.. ගොඩාක් කාලෙකට පස්සෙ ආයෙත් ආර්ට් එකේ බිල්ඩිමට නගින පළවෙනි පඩිය ළඟදි මගෙ හිත ඔක්කොටම කලින් නැවතුනා.. 


මේ පඩිපෙලමේ ශාලාව මගේ ජීවිතයට කොයි තරම් හුරුපුරුදු වුනත් සෑහෙන කාලෙකට පස්සෙ, ඒ කියන්නෙ මයෙ හිතේ සති හතර පහකට විතර පස්සෙ ආපු නිසාද කොහෙද ; මට හරි අමුත්තක් දැනුන... ශිෂ්‍ය නායකයො පිරිල ශිෂ්‍යයින් පරීක්ෂා කරන ගේට්ටුව ලඟදි කක්කුට්ට මගෙ දිහා වැරැද්දක් අල්ලන්න වගේ බලාගෙන ඉද්දි වත් මට ඒකෙ කිසි අමුත්තක් දැනුනෙ නෑ...  
                  ඊට පස්සෙ අපේ බි.සී. සර් ලඟට ඇවිත්," උඩට යන්න අදහසක් නෑ වගේ" කියල මගෙ පිටට තට්ටු කරනකම්ම මම මොනවදෝ කල්පනා කර කර හිටිය කියලයි පවනි නම් කීවෙ.. කලා අංශෙ ඇතුලෙ හමන හුළඟෙත් මොකක්දෝ වෙනසක් තියෙනව වගේ. එදා වාර විභාගෙ ලියද්දී ආව වගේ බෝ ගහේ ඉඳල ආදරණීය සීතල සුළඟ අද මාව හොයාගෙන ආවෙ නෑ.... මම හිතන්නෙ ඒකයි මට දැණුන වෙනස......
                    අම්මගෙ තනපුඩුවෙ එල්ලිලා කිරිබොන වසුපැටියෙක්ගෙ බෙල්ලෙ බැඳපු සීනුව නාද වෙන වෙලාවට ඇහෙන විදියෙ හඬක් මගෙ සවන් පත්ලටම කිඳාබහින්න වැඩි වෙලාවක් ගත උනේ නෑ. ඒ නාදෙ මගේ කර්ණශංඛයටදරන්න බැරි තරම් උන වෙලාවෙදි මගෙ සිතේ ඒකාග්‍රතාවය නැති වෙලා මට මොකක්දෝ වුනා... පවනි නම් කියන්නෙ ඒ වෙලාවෙ පංතියෙ හිටපු කොල්ලො ටික හිනා වුනේ මම ලේන්සුව අතේ ඔතන් ඒකෙ කෙළවරක් හප හපා ඉන්නව දැකල යි කියල... මන්ද.. මට ඒව මතක නෑ. :)
මම සාමාන්‍යයෙන් ඉස්කෝලෙ යනකොට ලේන්සු දෙකක් අරන් යනව... එකක් සාමාන්‍ය පාවිච්චියට.. අනික ඉඳගන්නකොට පුටුවට එළන්න... මම කැමති උනේ නෑ ඉස්කෝලෙ ඇරිල දූවිලි නාගෙන පිස්සෙක් වගේ යන්න.... මට යන්න තිබුනෙත් ප්‍රදේශයෙ ප්‍රධාන බාලිකා පාසලක් ලඟින් නෙ.. ;)  ඉතින් සුදු දිග කලිසමෙ වටිනාකම ගෙදරට යනකම්ම රැකගන්න මම සෑහෙන මහන්සි උනා ඒ කාලෙ... ;) ඉතින් වැඩිපුරම ඉන්නෙ ඒ ලේන්සුව අතේ ඔතාගෙන තමයි...
ඔන්න ආයෙමත් අවුට් ඔෆ් ටොපික්... :-D
                මගෙ වෙලාවද අවේලාවද කියන්න දන්නෙ නෑ, ඒත් තර්ක ශාස්ත්‍රය උගන්වන ගුරුතුමියයි සිංහල ගුරුතුමියයි අද පාසල් ඇවිත් තිබුනෙ නෑ... නැවතත් කලා අංශයෙ හොඳම පංතියක දකුණු පැත්තෙ තුන්වෙනි පේලියෙ මම තනියම ඉඳගෙන හිටිය... මගෙ සෙට් එකම මට පිටිපස්සෙ පේලියෙ..
                කවුළුවෙ කම්බි අතරින්, ඈත පිට්ටනියත් ළඟම තිබ්බ අඹ ගහත් අතර දුර වෙනස නට එච්චරම දැණුනෙ නෑ. ඒ අඹ ගහට මම කී පාරක් නැගල තියෙනවද කියලවත් මට මතක නෑ.. ඒ තරම් මම අඹ කඩල ඇති ඉස්කෝලෙ හවස හිටපු දවස් වල.. එතකොටම ආයෙ ඔලුවට පොල්ලෙන් ගැහුව වගේ ඇරිසෝන අහනව " උඹ දැන්ම ෆේස්බුක් එන්නෙ නැද්ද කියල... හීන ලෝකෙන් පොඩ්ඩක් මිදිල අපි ෆේස්බුක් එකේ පැය ගානක් ෆෝන් වලින් මරා......ගත්ත. :)
                ඉස්කෝලෙ ඇරිල නැහැ තවම... ආයෙමත් මට සුභය ව මතක් උනා... ඉතින් මම ඇරිසෝනවත් 10.30ට ඉස්කෝලෙ ගේට්ටුවෙන් එළියට දාල මම ආයෙ පොත් ටිකත් අරන් ඡායාරූප සංගම් කාමරේට ආව....

                ප.ලි. - මම ඉස්කෝලෙ යනකොට පොත් ටික අතේ ගෙනිච්චෙ.... බත් එකක් ගෙනිච්චත් ඒක අපේ ගෙවල් ලඟ ඉඳල ඉස්කෝලෙට එන වෙන බුවෙක්ගෙ බෑග් එකට දාල තමයි මම "පාසල් සේවය" බස් එකට නගින්නෙ...  Art එකේදි ආයෙ බත් එක අරන් අපේ රූම් එකෙන් තියනව....

Monday, August 29, 2011

...........................................කා.කා.ස..................................... ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

                 ම්.... තවත් එක නුපුරුදු නුහුරු අත්දැකීමක්.. මේ තරම් ජනාකීර්ණ නගරයක මේ වගේ නිස්කලංක පරිසරයක් තියෙනව කියල දැක්කමත් පුදුම හිතෙනව.. මම මේ කොහේ ගැන කතා කරනව කියලද පවනි හිතන්නෙඔව්, ඔයා හරියටම හරි. ඔයා කොහොමත් ඒක දැනගෙන සිටිය යුතුයි නෙ! ;) ඔව්, මේ වත්තල නගරය.. පෙළින් පෙළට වාහන ඇදෙන ඝෝෂාකාරී පරිසරයකින් යුක්ත වත්තල නගරය කෙළවරට වෙන්න තියෙන මඟුල්පොකුණ ආවේ මරියා කණිෂ්ට විද්‍යාලයෙ තුන ශ්‍රේණියෙ පන්තියක ඉඳගෙනයි මේ ලියන්නෙ. ඔයාලට පුදුම ඇති මම මොනවද එහෙ කරන්නෙ කියල? නේද?

              ඔව්, ඇත්ත මම අපේ තාත්තගෙ කා.කා.ස විදියට මැතිවරණ රාජකාරි වලටයි මම ඇවිත් ඉන්නෙ. තාත්ත මේ ඡන්ද මධ්‍යස්ථානෙ ජේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති. එයා කැමති වුනේ නෑ කා.කා.ස. විදියට පිට කෙනෙක්ව එක්කන් යන්න. ජීවිතේට ඒ වගේ රාජකාරියක් කරල නැති මට ම ඒ අත්දැකීම ලබාදෙන්නයි තාත්තටත් ඕනෙ වුනේ.. කොහොමත් තාත්ත අයියට වඩා මාත් එක්ක තමයි එකතු කියල පවනි නිතරම කියන කතාව ඇත්ත කියල හිතෙන්නෙ මේ වගේ වෙලාවට තමයි. රුපියල් සීයක් දීල ගත්තු පොල්කටු මුද්දත් මට මෙතැනදි අහිමි වුණා. ඒත් වෙනද වගේ දුකක් දැනෙන්න  තරම් මගෙ හිත පිරිල නෑ... ඒක හිස්! මේ වගේ තැනක තනියම ඉන්න තිබුන නම් කියල හිතුන වාර අනන්තයි.. ඒ අතරින්, වික්ටර් රත්නායක මහත්මයා ගායනා කරන ගීතයක් මට හොඳින්ම ඇහෙනව....;
      " තනි තරුවේ........
         ඔබත් ඔතැන ඔහොම ඉන්න.....
          මමත් මෙතැන මෙහෙම.. ඉන්නවා.... "
               ඒ ගීතයෙ උච්ච අවස්ථාව මගේ හදවතට තදින්ම කා වැදුන..," තනි තරුවේ.....වේ...." හිතාගන්න බැරි පුදුම විධියෙ දුකක් මට දැනුන..

           ගහ මොකක්ද කියල කියන්න හරියටම කියන්න දන්නෙ නැති වුනත් ඈතින් හිටපු වෘක්ෂ රාජය මගේ ජංගම දුරකතනයෙන් නික්මුණු වික්ටර් රත්නායක මහත්මයගෙ " හිත මිතුරු සුලඟ ළඟ එන වැහි වළාවට කියන්....." සිංදුවෙ තාලෙට නටමින් හිටිය. මම මීට වඩා තවත් අවුරුදු තුන හතරක් බාල වුණානම් මමත් ඒ ගහට නැගල ඒ ගහේ කොළත් එක්ක තාලෙට නටාවි නේදෝ යි කියලත් මට හිතුන....
          ඒත් මට ඒක කරන්න බැහැනෙ.... ඒ ගැන ගොඩක් දුක හිතුන නිසා මම තීරණය කලා එහා පැත්තෙ වතුර ටැංකියට නැගල ටිකක් වටපිටාව බලන්න....
 බැස්සම ඉතුරු ටික බලමුකො....
:D :D :D

                                                                     2010/01/25

Saturday, August 27, 2011

කෙටවලදී... ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."


              එක්දහස් නවසිය බර ගණන් වල නොවුනත් එදා නොවැම්බර් නව වෙනිද.මම උදේ නැගිටිනකොටත් මොකක්දෝ හින්ද හරිම කාන්සියක් දැනුන. කොණ්ඩෙ කපාගන්නවත් රැවුල කපාගන්නවත් මයෙ ඒ තරම් හිතක් තිබුනෙ නෑ... උදෙන්ම ඇඳගෙන ලෑස්ති වෙලා හිටියත් (ඉස්කෝලෙ යන්න) බත් ටික කාල ඉවර වෙනකොට බස් එකට වෙලාවත් හරි. ටක් ගාල එක බස් එකක නැගල හන්දියට ඇවිත් සුපුරුදු "පාසල් සේවය" බස් එක එනතුරු තුෂාරත් මමත් ලහිරුත් බලාගෙන හිටිය.. උදේ පාන්දරම අතුරුපස ටිකකුත් තියල හිටිය නිසා දාඩියත් ටිකක් දාලයි තිබුනෙ. 

               නැවතත් සුපුරුදු බස් රථයටම නැග්ගත් ඒකෙත් මොකක්දෝ අමුත්තක් තිබුණ.  එදා වගේම මාත් එක්ක ෆිට් එකේ හිටපු මගේ ප්‍රදේශයේ ප්‍රධාන බාලිකා විද්‍යාලයකට යන නංගිල සහ මගෙ යාලුවො ටික එක්ක කතා කරන්න මොකක්දෝ අමුත්තක් දැනුන... (ඒ පාසලේ නම කියන එක හරි නැහැනෙ නේද..) වෙනදට නැති පාළු කාන්සි ගතියක් හිතට දැනුන.. හිතනව මේක කියවන කෙනෙක්ටත් මේ මොහොත වෙද්දි ඒ මගේ හැඟීමම ප්‍රතිජනිත කරවන්න මට පුලුවන් උනා කියල.... මන්ද
, ඒක ඉතින් දන්නෙ කියවන ඔයාලනෙ...
         
               ඒ කාන්සිය මකා ගන්න සුපුරුදු පරිදි " බස් ඒකේ කෑ ගහන" පවනිගෙ චරිතේ නැවත හදා ගන්න උත්සාහ කලත් ඒකත් ඒ තරම්ම සාර්ථක උනේ නෑ..!!  ඒත් බස් එකේ යන කට්ටියට නම් මගේ කටහඬින්ම ආයෙ අලුත්ම නැවුම්ම බවක් දැනෙන්න ඇති (ඇති කිවුවට මම ඉන්න දවසට
school bus එකම හරිම Active, මාර fun කියල නගරෙ ප්‍රධාන බාලිකා පාසල් තුන වගේම අනිත් පාසල් වල කොල්ලො කෙල්ලො ටිකත් මගෙ මූණටම කියල තියෙනව)...

              
කොහොම හරි ඉස්කෝලෙ ලඟදි බස් එකෙන් බහින්න පවනි මට ඉඩ දුන්නෙ නෑ.. එහෙමම ඇවිත් (මගේ බල ප්‍රදේශයේ) ටවුන් එකේ බස් ස්ටෑන්ඩ් එකෙන් බහිනකොටම තමයි මට ආයෙ චතුරව හම්බ උනේ.. මම කෙටවල යන්න තීරණය කලා... හැබැයි නාන්න නම් නෙමෙයි....

            
ශ්‍රේෂ්ට ඉර එළියේ පහස ලබමින් මහපොළවට දාඩිය බිංදු සිය කැමැත්තෙන්ම පිරිනමමින් මමයි චතුරයි පයින්ම  කෙටවලට ආව.. ඉර එළියෙන් මුවා වෙච්ච පඳුරක් යට ගලක් උඩ වාඩි වෙලා ගලාගෙන යන වතුර පාර දිහා බලාගෙන ඉන්නකොට ඇගට පතට වගේම ඇස් දෙකටත් අමුතුම සනීපයක් දැනුන.. අපේ ජීවිතෙත් මේ වගේද මන්ද කියල මට හිතුන... දීර්ඝ විඩාබර ගමනක් ගෙවාගෙන අපි එන්නෙ කොයි තරම් සොඳුරු තැනකටද....? එතකොට අපේ නාට්‍ය කලාවෙ ශ්‍රේෂ්ටතමයෙක්  වෙච්ච මහාචාර්‍ය එදිරිවීර සරච්චන්ද්‍ර සර් එයාගෙ පොතක කියල තිබුනු කතාවක් මට මතක් උනා," මෙලොව ඇත්තේ යාම් හා ඊම් පමණි....."  මට ඒක හරියටම මතක නෑ.. ඒත් අපි යා යුතු සුන්දර තැන මෙතන නෙමෙයි කියල පවනි හිමි හිමීට මුමුණනව මට ඇහුන. එක අතකට ඒක ඇත්ත වෙන්නත් ඇති. ලා දුඹුරු පාට වෙච්ච සැඩ වතුර පහර ඒ විදියටම ගලාගෙන ගියා...ඒ ගියා වගේ මටත් ඒ වතුරෙ ගලාගෙන යන්න තිබුන නම් කියල මට හිතුන. ඒත් ඒ විදියට මට ගලාගෙන යන්න බැහැනෙ.. ඒකත් එක ජීවිත කතාවක්... අපි ඒ කතාවට අදාල නැහැ මම හිතන්නෙ...  ඒ අතරතුර මේ ලියන වාක්‍යයෙ "අ" යන්න ගාව ඉඳල තවත් පුංචි කලු කූඹියෙක් එයාගෙ කතාව ලියනව.. එයා ඒ වෙලාවෙ (හිතන්න පුලුවන් උනා නම්) මොනව හිතන්න ඇතිද?
 
             එයාගෙ ජීවිත කතාවත් විශ්ව ගම්මානයක් වෙච්ච මේ පුංචි සයිබර් අවකාශෙ කවද හරි ලියවෙයි කියල? ඒත් ඒ වෙනකොට එයා ජීවතුන් අතර ඉන්න එකක් නෑ කියල..? ආයෙමත් පෙණ බුබුළු පිඹ පිඹ වතුර පාර කැරකි කැරකි වේගෙන් ගලාගෙන යනව... මාවත් ඒ එක්ක කැරකෙනව වගේ දැනුන මම වෙන පැත්තක් බලාගත්ත....


සැළකිය යුතුයි - වතුර පහර වේගයෙන් ගලාගෙන ගිය "කෙටවල ඇනිකට්" එක සහ කලු කූඹියා හැර අනෙක් සියලු නම් ගම් මනඃකල්පිතයි...

Friday, August 26, 2011

කඳුළු බිඳුව... ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

  කඳුළු බිඳුවට
    කුමට උපමා
      කුමට ආලය
       මේ තරම්?
         වේදනාවේ
            දුකෙහි
              විරහවෙ
                 කටුක පිළිතුර
                      එයම බව
                         තව
                            දැන දැනත්..

Thursday, August 25, 2011

හඳ මාම..... ---> :) ..:|මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම.....

          මතකද? චූටි කාලෙ අපිට කිරියි පැණියි ගෙනත් දෙන;
                    "හඳ මාම"?

        අම්ම චූටි කාලෙ කියනව පුතාගෙ මූණ හඳක් වගෙයි කියල (ඔව්, හැබැයි මට නම් නෙමෙයි..!!). ඒ හඳ එළියෙන් දිව්‍යාංගනාවොමල් පෙති වල ලස්සන සිංදු ලිව්ව කියල කියනව....? මතකද හඳේ සුදු හාවෙක් ඉන්නව කියල....
ඒත්... 
       ඒත් කවදාවත් ඉර ගැන එහෙම කියල තියෙනවද?? මතකද චූටි කාලෙ චිත්‍ර කතා වල ඉර මාම තරහෙන් රවාගෙන ඉද්දි හඳ මාම හිනාවෙන හැටි ඇඳල තිබුන විදිය.. සමාවෙන්න... ඉරට "මාම" කියල කතාවත් නොකරන තරමට අපි ඉරත් එක්ක තරහයි... ඒ කාලෙ අපි ඉර ගැන හිතුවෙ කිසිම කරුණාවක්, හිතේ තෙත ගතියක් නැති දරුණු සතෙක් විදියට... ඒත්....
      ඒත් දැන් ඒක සාධාරණයි කියල ඔයාට හිතෙනවද? අම්ම ඔයාගෙ මූණ උපමා කලේ කිසිම ජීවයක් නැති ආවාට වලින් පිරිච්ච කාන්තාරයක් වගේ චිත්ත රූපයක් මවාගෙනයි කියල ඔයාටහිතෙනවද? පැණි බිංදුවක් තියා දිය පාරක ලකුණක් වත්..? ඒත් ඉදිරියට විද්‍යාව එහෙම දේවලුත් හොයාගනීද මන්ද.... ඒත් බලන්න ඉර දිහා... නෑ එපා!!! ඔයාගෙ ඇස් දෙක පිච්චෙයි. ඒ තරම් එයා දරුණුයි...  ඒත්...
          ඒත් එයා අපිට කොයි තරම් අනුකම්පා කරනවද? අනික හඳ වගේ නෙමෙයි, අපිට යුක්තිය පසිඳල වැරදි කරපු අයට දඩුවම් නියම කරන එකත් එය කරනව... ඒත් ඒ එයාගෙ නපුරුකමටවත් අපිට නපුරක් කරන්නවත් නෙමෙයි... අපිටම යහපතක් කරන්නයි... එයා එයාගෙ හිත උණු කරගෙන ඒකෙ බලයෙන් එයාගෙ රශ්මිය ඈතට විහිදුවල අපිට, අපේ පොළවට, ගස් වැල් වලට ජීවය පිඹිනව... විද්‍යාව යාන්තමට වත් ඉගෙනගත්තු අය වෙච්ච අපි දන්නව ප්‍රභාසංස්ලේශනයට ඉර එලිය අත්‍යවශ්‍යයි කියල. හිතන්න එයා එයාගෙ හිත උණු කරගන්න කොයි තරම් දුක් විඳිනව ඇත්ද?
          වංචාකාර හඳ ඒ අහිංසක ඉර'ගෙ එළිය අරගෙන ඒව අපට දීල හොඳ හිත දිනාගන්න හදනව කියල හිතෙන්නෙ නැද්ද? ඒත් ඒ රශ්මියට පුළුවන්ද අපට ජීවය දෙන්න?? බැහැ නේද? ඒත්.....
ඒ තරම් අපිට උදව් කරන පරාර්ථකාමී ඉර'ට අපි සලකන විදිය හරි ද? 
"අහිංසක ඉර'ට වංචා කරල රවටල අනුන්ගෙ පානෙන් එළිය බලන සඳට උපමා ගෙතුවෙ කුමටද?"
:)

වළාකුළු.... ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."




පාවෙලා යන වළාකුළු.. නිහඬයි..... නිහතමානියි... ඒ නිහඬ බව, චාම් බව... හරි පුදුමයි නේද? නුවර වැව හිඳිච්ච සීතල හවසක වැව් පිට්ටනියට වෙලා එයා දිහා බලන් ඉන්නකොට එයා එයාගෙ මූණ, එයාගෙ සිනිදු පුළුන් වලින් ගෙත්තම් කරල පෙන්නනවාදෝ යි කියලත් හිතෙනව......

     ඒ නිහඬ නිහතමානී බව දැක්කම එයා බොහොම දරුණු දේවල් කරල හිතන්නවත් පුලුවන්ද?

          වෙලාවකට අපිත් එක්ක තරහ වෙලා යාලුවොත් එක්ක ඈතට යනව.... වෙලාවකට තරහින් මූණ කලු කරගෙන ගින්දර විසි කර කර කෑ.... ගහනව.... ඒත්..
ඒත් තවත් වෙලාවකට අපිට එයාව අත්‍යවශ්‍යයි කියල එයාට හිතුන වෙලාවට ගොඩක් දුක හිහිල එයාට ඒ දුක දරාගන්න බැරුව යනව......
          අන්න එහෙම වෙලාවකට එයාගෙ ඇහෙන් වැටෙන කඳුලු වලින් අපිව ජීවත් කරවන්න එයා උත්සාහ කරනව....
ඒත්....

දෙවන වර - සාමාන්‍යපෙළ ගණිත ප්‍රශ්න පත්‍රය.. - + x / 1234567890 ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

BBG031  වර්ණයෙන්..
A 3 කඩදාසිය
මත
මුද්‍රිත
ගැටළු ජාලය
ගිල ගනිමින් සිටිමි!!!
ගුදයෙන්
A+
පිටවෙන
තුරු....