javascript:void(0)

Wednesday, December 17, 2014

....සතුටු බිඳුවක්.....


..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."


                   අනේ මන්ද මිනිස්සු මොනව හොයන්න මේ තරම් මහන්සි වෙනවද කියල. මම එහෙම කියන්නෙ මටවත් තේරෙන්නෙ නෑ මම මේ මොනව හොයන්නද මහන්සි වෙන්නෙ කියල.. මම එහෙම අදහස් කලේ මුදල් වලට වඩා ගැඹුරට ගිය දෙයක් ගැනයි.

                  පවනිත් මේ දවස් වල මගෙ ළඟ නැති ගතියක් හිතට දැනෙනව. එයා හිටිය නම් මොකක් හරි පිස්සුවක් නටල මගෙ හිත කොහොම හරි හදනව. මම ගන්න තීරණ ගැන තර්ක කරන්න හිටියෙත් එයා විතරමයි. අන්න ඒ නිසයි මේ වෙලාවත් පවනි නැති අඩුව මට තදින්ම දැනෙන්නෙ....

              මට හෙට බ්‍රිටිෂ් කවුන්සිල් එකේ ඉංග්‍රීසි තේරීම් විභාගය. දැන් වෙලාව හවස 6.40යි. හෙට විභාගයට හිටියට පංතියට දාන්න තව විශාල මුදලක් ඕන (මගෙ හැටියට ඒක විශාලයි :) ). තවම මට ඒ ගැන නිශ්චිත තීරණයක් නැහැ. ඊයෙ ඉඳල මම වෙනුවෙන් වියදම් කරන එකත් තාත්ත නැවැත්තුව. දැන් ගෙදරින් කෑම විතරයි. සතයක් වත් දෙන්නෙ නැහැ. මගෙ ලොකුම අඩුව මම ගන්න තීරණ වෙනස්වීමක් ද මන්ද....

                       එදා (මට මතක ඇති කාලෙ) මම ඉඳගෙන ඉන්නකොට මගෙ ඉස්සරහින් මම දැක්කෙ අර සුපුරුදු අතු සිඳල දාපු ගඩුගුඩා ගහයි තැඹිලි ගහයි. මම ඒ තැඹිලි ගහේ අතු දිහා බලාගෙන විඳපු මනෝභාවයන් කොච්චරක් ද... (click -> බාල බොළඳ )  මේ වෙලාවෙ මගෙ ඉස්සරහ මගෙ මේසෙ උඩ විනිවිද පේන පාට පාට බෝතල් වල සෙරමික් ධාරිත්‍රක, ප්‍රතිරෝධක, ආලෝක විමෝචක දියෝඩ පුරවල තියෙනව... හරිම කෘතීම පරිසරයක් වගෙ.. ඒ අතරෙ මම කරපු මගේම නිර්මානත් තියෙනව.

                      ඈතින් පන්සල් පාර දිගේ මල් පුරවපු උරයකුත් අරගෙන බෝම හිමින් ළඟින් ළඟින් අඩිය තිය තිය කවුදෝ මන්ද පන්සල් යනව. පවනි හිටිය නම් කියයි "ඔයත් කවද හරි වයසට ගිය දවසකට ඒ වයසක කෙනා වගෙ ඔයත් ඒ විදියටම මල් පුරවපු උරයකුත් අරගෙන පන්සල් යයි" කියල. ඒත්... මමත් කටකාරයි නෙ.. මම එක පාරටම අනිත් පැත්තට කියාවි, "නෑ... මම ඒ පාරෙන් නෙමෙයි නෙ පන්සල් යන්නෙ, කණිෂ්ක මාමලගෙ වත්තෙන් පැනල නෙ" කියල. අනේ මන්ද මමත් කියවන විකාර... නේද?

හරිම නිශ්ශබ්දයි..... පාරෙ පන්සල් යන කෙනෙක් කියවන මොන මොනවදෝ ඈතින් ඇහුන. ඒත් එක පාරටම ආයෙ පන්සලේ කවි බණ වාදනය වෙන්න පටන් ගත්ත හයියෙන්... 

ඒත් එක පාරටම ආයෙමත්...

(වටපිටාවෙ කොයි තරම් සද්ද තිබුනත් හිත් දෙකක්, පුද්ගලයක් දෙදෙනෙක් අතර දැඩි නිහඬතාවක්... විනාඩි දෙක තුනක...)


               ඔව්.. මම මාම එක්ක කතා කලා. එයා මට ඒ ගාන ගෙවන්න චෙක් එකක් දෙන්න පොරොන්දු උනා. ඒ වෙලාවෙ මට දැනුන සතුටට මගෙ හුස්ම හිර උනෙ නැති ටික විතරයි. ඒ තරමට මම සතුටින්. මාම පත්තු කරපු හඳුන් කූරු සුවඳ මගෙ එක නාස් පුඩුවක් දිගේ තදින්ම ඇදිල ගියා හරියට සිත එකඟ වෙන්න මත් වුනා වගේ... මොකක්දෝ කියාගන්න බැරි ලස්සන දේක නැගල ගොඩක් සතුටින් මම පාවෙනව වගෙ දැනුන...

මොකක්දෝ කියාගන්න බැරි ලස්සන දේක නැගල ගොඩක් සතුටින් මම පාවෙනව වගෙ දැනුන...

           ඒ මනෝ ලෝකෙ ටිකක් වෙලා අතරමං වෙලා හිටපු මම ආයෙමත් පියවි ලෝකෙට ආවෙ මේ දුන්න ගාණ කවද හරි ගෙවන්න මම දැන් වැඩ කරන්න ඕන නේද කියල මතක් උනාමයි... ණයට හරි සල්ලි දෙන්න වත් කෙනෙක් උන්න එක ගැන සතුටු වෙලා මම ආයෙත් වැඩ පටන් ගත්ත....

ප.ලි. - ගොඩක් කලින් ඉඳල ලියල තිබුන පෝස්ට් එකක්... ඒත්... .ඒක හරි හැටි අවසාන කරල තිබුනෙ නෑ. හිත එකලාසයක් නැතුව එක එක බය හිතෙන දේවල් හිත හිත ඉන්න අතරෙ...  මේක දැකපුවම.. මට ආයෙමත් ඒ පරණ සිදුවීම මතක් උනා.
පෝස්ට් එක ලියන්න කලින් තිබුන හිත කොහෙ ගියා ද කියල හොයාගන්න බැරි තරම් වෙනස් වෙලා තිබුන පෝස්ට් එකේ අවසානය ලියල ඉවර වෙනකොට....

ප.ප.ලි - පවනි වගෙම විසේකාර, දඟ වැඩ කරන විදියෙ කෙනෙක් ජීවිතේට ළං උනත්... ආ පයින්ම ඈ හැරිල යන ගමන් තමයි දැන් ඉන්නෙ... ඒ නිසා ද කොහෙද හිතත් ටිකක් විකාර වෙලා තියෙන්නෙ...


කෝම උනත් පවනි ගෙ අඩුව පුරවන්න බෑ වෙන කාටවත්... මම ඒක තේරුම්ගත්ත හොඳටම...

Tuesday, December 16, 2014

..මගේ ආදර කතාව - 5.. [අවසන් කොටස]

..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."


          කතාව බෝම ලස්සනට ඉවර කරන්න හිතන් උන්නත්... හිත ඒ තරම් පිරිල නෑ... ඒ මතකයෙ ම් යම් තැන් අලුත් කලත් සම්පූර්ණ මතකයම අලුත් කරන්න මගෙ හිතක් නෑ...
                   ඒක හරිම සුවිශේෂී වසරක්... මගෙ උපන්දිනයත් සමඟ නොසිතූ ආකාරයේ අවථාවන් මා වෙත ආපු වසරක්... මම ඉගෙනගත් ආයතනයේම පළමු පංතිය කරන්න මට හම්බ වෙන්නෙත් හරියටම මගෙ උපන් දිනය දවසෙමයි....
            මට මතකයි... මම මේ කතාවෙ පලවෙනි කොටසෙදිම කිවුව කොහොමද මට එයාව හම්බ උනෙ කියල මුලින්ම... --->  "මම කොයි තරම් හෙවුවත් එහෙම එකක් හම්බ උනේ නෑ, ඒ කිවුවෙ අර මගෙ නංගි කෙනාගෙ කියල සැක කල හැකි එකවුන්ට් එකක්. ඒත් මට දෙයක් හම්බ උනා!!...."

                  මුලින්ම මම ඈ ව අධ්‍යයනය කලා. ඒ ගැන මම කලින් පෝස්ට් තුනේදිම කතා කරල තියෙනව... ඈ අහිංසක කෙල්ලක්...  අදටත් ඈ එසේමැයි.... මම මුහුණු පොත තුළින් කවදාවත් දැකල නොතිබුන හිතකට ආදරය කලා... ඒ හිතත් ඒ තරමටම ආදරය කලා, ඒත්... ඒ හිත ආදරය කියල කරපු නිර්වචනයයි මගෙ ආදරය පිළිබඳ නිර්වචනයයි ගොඩක් වෙනස්.... මුලදි අපිට ඒක නොදැනුනත් අපේ සම්බන්ධතාවෙ යම් යම් ගැටලු ඇති වෙච්ච තැන් වලදි වගෙම අවසන් කාලෙදිත් ඒක අපිට හොඳටම තේරුනා..

         මේ කතාව ලස්සන, කියවන්න ආස හිතෙන විදියෙ කතාවක් විදියට ලියන්න කොයි තරම් උත්සහ කරත් මට ඒකට හිත හදාගන්න බෑ... ඒ ගැන නම් කියවන ඔයාල මට සමා වෙන්න ඕන..  :-( 

              අපි එකිනෙකාට ආදරය ප්‍රකාශ කරල මුල් වරට අපි හමු උනේ, මීගමුව නගරයෙ එක්තරා ප්‍රසිද්ධ අධ්‍යාපන ආයතනයක ඇතුලුවන ගේට්ටුව ළඟ... :)  නෑ නෑ, ඔයා හිතුව විදිය නෙමෙයි.... අපි එකට පංති ගියෙ නෑ.... ඈ ජීවිතේ පළවෙනි වතාවට ගෙදරින් පිටත පංතියකට ගිය ආයතනය ඉස්සරහ තමයි අපි හම්බ උනේ... පියවි ඇසින් අපි එකිනෙකාව දැන හඳුනගත්තෙ එදා...  මහ වෙලාවක් වගේ දැනුනත් අපි කතා කලේ වචන කීපයයි, විනාඩි කීපයයි....

එදා ඉඳන් අපි ගොඩාක් දුර ගමනක් ආව බෝම සතුටින්.... ගැටීම් දෙදරා යෑම් ඇති නොවුනාම නොවෙයි... මගෙ අතින් වැරදි නොවුනාම නොවෙයි, ඇගෙ අතින් වැරදි සිදු නොවුනාම නොවෙයි.... ඒත් ඒ කිසි දෙයක් අපිව ඈත් කරන්න සමත් උනේ නම් නෑ...    ඒත් අර ආදරය පිළිබඳ නිර්වචනයෙ වෙනස්කම් නිසා අපි අතර හිත් පළුදු වීම් ගොඩක් සිදු උනා. විශේෂයෙන්ම මේ කතා කරන කතානායකය ගෙ.

             කතානායකය තමන් ගෙ ආසාවන්, බලාපොරොත්තු වගෙ දේවල් වචන වලින් කිවුවට කතානායිකාව තමන්ගෙ ආසාවන්, බලාපොරොත්තු ආදිය වචන වලින් ප්‍රකාශ කලේ බෝම අඩුවෙන්... ඒ ගොඩක් දේවල් ඇගේ හැසිරීමෙන්, කතාබහින් තේරුම් ගනීවි යැයි ඈ බලාපොරොත්තු උනත් තානායකයා ඒ දේවල් තේරුම් ගැනීමට සමත් උනෙ නෑ...

             පසුව සිදු වූ  දේවල් ඉතාමත්ම කනගාටුදායක උනා. තමන් කොයි තරම් අඟවන්න උත්සාහ කලත් තමන් අඟවන දේ තේරුම් ගන්නට තම ආදරවන්තය සමත් නෑ කියල නයනි ට තේරුනා. ඒත් ඒ අඟවන්නට උත්සහ කරපු දේවල් නයනි ගෙ හිත දිනාගැනීමේ උත්සහයකින් පසු වුනු මේ කතාවෙ තෙවන හා සිවු වන පාර්ශවයට තේරුම් ගන්නට, නයනි අඟවන්නට උත්සහ දරන දේ කුමක් ද යන්න තේරුම් ගන්නට හැකි වුනා.

එතැන් පටන් සියලු දේවල් ඉතාමත් කනගාටුදායක් වුනා. මත ගැටුම්... සිත් රිදවාගැනීම් ආදියත් ඇති උනා.

මෙහි කතාකල, ඈ අඟවන්නට උත්සහ කල දේවල් වැරදි දේවල් නොවේ, සාමාන්‍ය කෙල්ලෙකුගෙ හිතේ ඇතිවෙන අහිංසක ආසාවන් බව සලකන්න..

                         ඉන්පසු සිදු වූ සියල්ලෙන්ම ඈ හට ඇගෙ ආදරවන්තයාව විකර්ශනය වීමක් සිදු උනා. තම සතුටට තම ආදරවන්තයාගෙන් ඉඩක් නැති බව තේරුම් ගත් ඈ ඔහුගෙන් වෙන් වීමට උත්සාහ දැරුවා. යහපත් උත්සාහයක් සියල්ල අසාර්ථක වූ තැන ඈ විසින් නොකල යුතු ආකාරයේ අයහපත් උත්සාහයක් දරා ඈ අවසානයේ ජය ගන්නට සමත් වුනා. නමුත් ඈ ජයගත්තත් ඈ ජය ගැනීමට කල අයහපත් උත්සාහය නිසා කීප දෙනෙක්ම ඈ පිළිබඳ කළකිරීමටත්, හොඳම මිතුරන් දෙදෙනෙකු ඇගේ ක්‍රියාව නිසා විරසක වීමකුත් සිදු වූවා....

බෝම කෙටියෙන් සංක්ෂිප්තව මේ කතාව අවසන් කරන්න ට සිදු වීම පිළිබඳ සමාවන සේක්වා... මේ කතාව 100%ක්ම සත්‍ය චරිත හා සත්‍ය සිදුවීමක් වටා ගෙතුණු එකක්..  මේ සිදුවීම... එහෙමත් නැතිනම් මේ සම්බන්ධය අවසන් වී මේ වන විටත් මාස හතක් පමණ ගත වී අවසන්.. 

අවසන් වශයෙන් කතානායකයගෙ ඉල්ලීම "සමාවෙන්න.." කියන එක පමණයි....

නයනි විසින් අවසාන කාලයේදි වත් තම ආදරවන්තයා තමන් ව තේරුම් ගනීවි යැයි සිතා ඔහු හට එවූ ගීතයක් සමගින් මේ කතාව අවසන් කරනව....

සිත නිදි නෑ.... මගෙ ළඟ නෑ....
ඔබ දුර ඈත ගිහිල්ලා....



....සිටිනා තැනක නිදුකින් නිරෝගීව යෙහෙන් බෙලෙන් වැජබේවා...

Thursday, July 10, 2014

..මගේ ආදර කතාව - 4..

..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

ඈ පිළිබඳව මගේ අධ්‍යයනය


                  ................ඈ විවාහ වන පුද්ගලයා ගැන මම එසේ ප්‍රකාශ කලේ, ඈ උපතින්ම ටිකක් කපටි නිසාවෙනි. ඈට අවශ්‍ය වන්නේ ආදරවන්තයෙක් නොවේ ය. ඈට අවශ්‍ය වන්නේ පිරිමි ළමුන් ආශ්‍රය කිරීමට ය. ඈ හට ආදරවන්තයෙක් සිටියද ඈ බලාපොරොත්තු වන්නේ එම ආදරවන්තයාව තමන් සතුව තබා ගනිමින්ම තවත් පිරිමි ළමුන් ඇසුරු කිරීමටයි.

ඒ සඳහා ඈ සමඟ යාලු වන ආදරවන්තයා හොඳ ආදරණීය පුද්ගලයෙක් ද, ඈ පිළිබඳ සියල්ල සොයා බලා ඈ හට සලකන කෙනෙක් ද යන්න ඈට වැදගත් නොවේ. (එසේ ඇසුරු කරන අයෙකු තම පෙම්වතාට වඩා හිතට ඇල්ලූ විට පෙම්වතා අත හැර ඔහු හා හාදවීමට මැලි වන්නේ ද නැත.)



ඈට තවත් ඇසුරු කිරීමට එතරම් තමන්ට කවුරුන් හෝ සමීපවන තුරුතමා සමඟ සිටින පෙම්වතා අත්හරින්නේ ද නැත. ඇසුරු කිරීමට හමු වන පිරිමි ළමයා තමන් සමඟ යහළු වනතුරු, සමීප වනතුරු සමහර අවස්ථා වලදී තාවකාලික ආධාරයකක්(Backup)ලෙස ද තම පෙම්වතා පරිහරණය කරන අවස්ථා ඇත. ඒ තම පෙම්වතා ද අලුත් මිතුරා ද කියා තෝරාගැනීමට නොහැකිව පැටලිලිසහගතව සිටින අවස්ථාවල දී ය.

              ඈට එසේ තම ආදරවන්තයා සමඟ සිටිමින් තවත් පිරිමි ළමුන් ආශ්‍රය කිරීමට ඉඩ දීමට නම් එක්කෝ එම ආදරවන්තයා මෝඩ පහේ කෙනෙක් විය යුතුය, එක්කෝ පෙම්වතිය හොරෙන් කරන කියන කිසිදෙයක් දැනගන්නේ නැති හෝ හොයන්නේ නැති කෙනෙක් විය යුතු ය, ඈ ගැන වැඩි සැළකිල්ලක් නොදක්වන අයෙක් විය යුතුය, එසේත් නැතිනම් සැබෑ ආදරයක් නොකරන, අපේ බාසාවෙන් කියතොත්, "ඈ හට සිරා ලවු නොකරන" විදියේ කොල්ලෙක් විය යුතුය. මන්ද යත් කිසිම ආදරවන්තයෙක් තම ආදරවන්තියට කෙතරම් ආදරය කලත්, කෙතරම් ඈ ව තේරුම් ගත් අයෙක් වුවත් තමන්ට සලකන, කතාබහ කරන, හැසිරෙන තරම් සමීප අයුරින් තම පෙම්වතිය වෙනත් පිරිමින් ඇසුරු කරනවාට තුන් හිතින්ම අකමැති නිසා ය. එසේ කැමති වන්නේ නම් ඔහු අර මම පෙර කී විදියේ පෙම්වතෙකු හෝ සිත දියුණු කල පුද්ගලයෙක් විය යුතුය(ලෞකික ආශා රහිත! නමුත් එවන් කෙනෙකු කිසිවිට බැඳීමක් ඇති කරගෙන්නෙ නැත ).

පිරිමි ළමුන් ඇසුරු කිරීම

              මෙහිදී මා කතා කරන්නේ යහලුවන් ලෙස හෝ සහෝදරයෙකු ලෙස ඇසුරු කිරීම නොවන බව කාරුණිකව වටහා ගන්න. නැතිනම් මෙහි මා ප්‍රකාශ කල "පිරිමි ළමුන්" ඇසුරු කිරීම ඔබ වරදවා වටහාගනු ඇත. එසේම මෙකී පිරිමි ළමුන් ඇසුරු කිරීම යනු ඔවුන් සමඟ යහන්ගතවීම ද නොවන බව කාරුණිකව සලකන්න. (නමුත් දුරදිග යෑම තුළින් එවන් දෑ ද සිදුවිය හැකි බව අමතක නොකරන්න ) ජීවිතේ එක් වරක් හෝ පෙම්වතුන් වී ඇති ඔබ "පෙම්වතුන් සේ හැසිරීම" යනු කුමක්දැයි මටත් වඩා හොඳින්ම මෙය කියවන ඔබ දන්නා බව මා හොඳින්ම දනිමි. ;-)  මා මෙහි කතා කරන්නේ පෙම්වතෙකු සිටින විට තවත් පිරිමි ළමුන් සමඟ එසේ "පෙම්වතුන් සේ හැසිරීම" ඇගේ ලක්ෂණයක් බවයි. නයනි එවන් චරිතයකි.

            ඈ ආලය යනු කුමක්දැයි හරි හැටි නොහඳුනන බව මට හැඟේ. එහෙත් ඈ ඉල්ලා සිටින්නේ ආලයයි. ඈ සිතන ඈ පවසන විදියට නම් ආලය යනු නිතරම ඈ පිළිබඳ සොයා බලා ඈ සමඟ නිතරම මැසේජ් කෝල් කරමින් ඈ සමඟ නිරතුරු සම්බන්ධ වී කටයුතු කිරීම මෙන්ම ඈ සිතන පතන දේවල් සඳහා ඉඩකඩ දීම, ඈට අවශ්‍ය ඇගේ සතුට යමක් ද කිසිදු විරෝධයකින් තොරව ඒ සඳහා නිදහස දීම ආලය කියා ය. නමුත් දෙදෙනෙක් එක් වී අරඹන ආදර සම්බන්ධතාවයකදී එක් අයෙකුට ඕනෑ ඕනෑ පරිදි හිතුමතයේ කටයුතු කල හැකි ද?

               ආදරයකදී සම්බන්ධය පැවතීමට පෙර තරම් තිබූ විශාල නිදහසක් සහිත හැසිරීම් කලාපයන් (දෙදෙනා අතර ආදර සම්බන්ධතාවයක් පටන් ගත්පසු ) කොල්ලාට මෙන්ම කෙල්ලට ද දිගටම පවත්වාගෙන යා හැකි ද?

               එහිදී සතුට යනු ආදරවන්තයා තම ආදරවන්තියගේ සතුට වෙනුවෙන් තම සතුට කැප කල යුතු ද? නැතිනම් ආදරවන්තිය තම ආදරවන්තයාගේ සතුට වෙනුවෙන් තම සතුට කැප කල යුතු ද? 

           මම නම් හිතන්නෙ දෙදෙනා හරියට එකිනෙකාව තේරුම් අරන් තියෙනව නම් ඔය කියපු දෙකම කරන්න ඕන නෑ කියල. මොකද එතකොට ආදරවන්තිය දන්නව ආදරවන්තය සතුටු මොනවට ද කියල, එතකොට ආදරවන්තිය කරන්නෙ තමන්ගෙ සතුට කැප නොකර ඔහුගේ සතුට සමඟ ගැළපිය හැකි දේවල් කිරීම. ඒකෙ අනිත් පැත්තටත් එහෙමයි. දෙන්නටම සතුටු වෙන්න පුලුවන් දේවල් තියේ එක්කෙනෙක් විතරක් සතුටු වෙන දේවල් වලට වඩා... නේද? 

                නමුත් එහෙමයි කියල තමන්ගෙ ආදරවන්තියගෙ සතුට වෙනුවෙන් කියා ඈට ඕනෑ ඕනෑ පරිදි පිරිමි ළමුන් සමඟ මා පෙරකී ආදරවන්තයින් ලෙස හැසිරීමට ඉඩ දිය යුතු ද? එය පෙම්වතියට සතුටක් උනත් පෙම්වතාට දුකක් නම් පෙම්වතා පෙම්වතියගේ සතුට වෙනුවෙන් එය කල යුතු ද?

"ඔව් ඉතින් ආදරසම්බන්ධතාවයක් තුළ එකිනෙකා තේරුම් අරන් තම තමන්ගේ නිදහසේ සීමාව තුළැ රැඳෙමින් වැඩ කරනව නම් කෝමටත් කිසිම ප්‍රශ්නයක් නෑ නෙ... නිදහස නැති කරනව තියා සීමා කරන්න උවමනාවකුත් නෑ නෙ... නේද? 
නමුත් දෙන්නගෙන් එක්කෙනෙක්ට තමනුගේ නිදහසේ සීමාව තේරුම් ගන්න බැරි නම්? නමුත් ආදරයි නම්? එහෙම වෙලාවට දෙදෙනාගෙම යහපත තකා එක් අයෙක් අනෙක් කෙනාගෙ නිදහස යම්තාක් දුරට සීමා කිරීම හරි ද වැරදි ද? නෑ, ඇයි එහෙම සීමා කරන්න කියල තේරුම් කරල දීල එහෙම කරන එක?"

         අවංක ආදරය යනු එක් අයෙකුට පමණක් පිදිය යුතු දෙයක් බව දන්නේ නම් ඈ වෙනත් පිරිමි ළමුන් ඇසුරට යාවි ද? මේවා නයනිගේ චරිත ලක්ෂණයි.

            මා සමඟ ආදරසම්බන්ධයක් ඇති කරගැනීමට පෙර ඈ සමඟ පෙමින් වෙලී සිටි අය පිළිබඳ මා සොයා බලා ඔවුන් සමග මා පෞද්ගලිකව කතා කලෙමි. ඔවුන් සමඟ පැවති සබඳතා බිඳී ගිය ආකාරය ඔවුන්ගෙන් අසා දැනගතිමි, ඒ පිළිබඳව විශ්ලේශනය කලෙමි. ඒ එක් අයෙක් වත් ඈ හමු වී කතා බහ කර නැත. නමුත් මුහුණුපොත හරහා සහ දුරකතන ඇමතුම් මගින් හා ස්කයිප් තාක්ෂණය තුළින් එකිනෙකා සමඟ කතාබහ කර තිබේ. ඒ එකදු සබඳතාවක් වත් අවුරුදු ගාණක් පැවතී නැත, අඩුම තරමින් අවුරුද්දක් වත් පැවතී නැති තරම් ය. අවුරුදු තුනක් පමණ මග බාධක ද සහිතව පැවති ඇගේ එකම සම්බන්ධය පැවතියේ මා සමඟ ය. ඈ මුහුණට හමු වී කතා කල පළමු පෙම්වතා වන්නේ ද මා ය. 

                එමෙන්ම ඈ ගැන මාස ගණනක් සොයා බලා ඈ පිළිබඳවත් ඇගේ පවුල් පසුබිම, ඇගේ දෙමවුපියන් පිළිබඳ මෙන්ම ඈ හැදුනු වැඩුනු පරිසරය ද පිළිබඳ සොයා බලා ඈ ව අධ්‍යයනය කල එකම පෙම්වතා ද මම වෙමි. එය ඇගේ යහළුවන්, මෙන්ම ඇගේ පියා ද පිළිගත් සත්‍යයකි. ඈ හට කුඩා නිදහසක් ලැබුණු විට එහි උපරිමේට යන දුර්වලතාවය ද ඇගේ යහපත වෙනුවෙන් ඈට ආදරය කරන සමීපතමයන් කියන දෑ නොඇසීම යන දුර්වලතාවය ද මම තරම් ඇගේ පියාවත් තේරුම්ගෙන ඇතැයි නොසිතමි. 

ඈ පිළිබඳව මගේ අධ්‍යයනය බෝම කෙටියෙන් තාවකාලිකව මෙහෙම නිමා කරනව. මීළඟ කොටස අප එකිනෙකා හමු වී කතාබහ කිරීම හා ආදර සම්බන්ධතාව ඇරඹී පළමු වසර දෙකක කාලය....

ප. ලි. -  මේ වෙනකම් මගෙ ආදර කතාවෙ පළමු, දෙවන, තෙවන කොටස් කියවපු ඔයාලට ඔන්න මේකට නම් දාන්න කමෙන්ට් එකක් තියේවි කියල හිතනව.අඩු ගානෙ මේ පෝස්ටුවෙ තියෙන ප්‍රශ්න එකකට දෙකකට හරි උත්තර ඔයාගෙ මතයට අනුව කමෙන්ට් එකක් දාවි කියල මම බලාපොරොත්තු වෙනව යාලුවනේ...


පළමු කොටස ---> ..මගේ ආදර කතාව - 1..
දෙවන කොටස --->..මගේ ආදර කතාව - 2..
තෙවන කොටස ---> ..මගේ ආදර කතාව - 3..

Wednesday, July 2, 2014

..මගේ ආදර කතාව - 3..

..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

ඈ පිළිබඳව මගේ අධ්‍යයනය


               ඈ... කුඩා කල සිටම ගැහැණු ළමුන් ආශ්‍රයට වඩා පිරිමි ළමුන් ආශ්‍රයට කැමති කෙනෙක්. ඒ කාලෙ තමයි මම හිතන්නෙ නියම කාලෙ කෙල්ලන්ට කොල්ලන්ට එකිනෙකා ආශ්‍රය කරන්න දිය යුතු. ඒ කිවුවෙ උපරිම 8,9 වගේ වසරවල් වලට එනකම්. මොකද ඒ කාලෙට ඔය පොඩි උන්ගෙ හිත් වල ආදර හැඟීම් හෝ වෙනත් අදහස් නෑ.. ඉතින් ඒ කාලෙදි තමයි කෙල්ලෙක් ඉගෙනගන්නෙ කොල්ලො ගැන, උන් හිතන පතන විදිය ගැන. කොල්ලෙක් නම් ඔය කාලෙදි ඉගෙනගන්නව කෙල්ලො ගැන, හිතන පතන විදිය ගැන එහෙම. ඒත් ඒ කාලෙදි ආසාවල් විතරයි හිතේ ඇති වෙන්නෙ, ඒව ආදරයන් නෙමෙයි. ඉතින් එහෙම එකිනෙකා අධ්‍යයනය කරන වයසකදි ඒ අවස්ථාවන් නොලැබුනාම ඒ අවස්ථාවන් තරුණ වියේදි තමයි ලබාගන්න උත්සහ කරන්නෙ.

                 මේ කතානායිකාවත් එහෙම කෙනෙක්. පිරිමි ළමුන් ආශ්‍රය කරල එයාලගෙ සිතුම් පැතුම්, කොහොමද හැසිරෙන්නෙ, කොයි වගේ අය ද ඉන්නෙ කියන එක එයාට දැනගන්න ලැබුනෙ නෑ, සාමාන්‍යපෙළ කරනකොටත් ඈ දන්නෙ ඇසුරු කරල තියෙන්නෙ පිරිමි අය විදියට බෝම සීමිත පිරිසක්, ඒ එයාගෙ එකම සහෝදරයා සහ ඔහුගෙ යාලුවන්. ඒත් ඔහුගෙ යාලුවන් සමඟ කතාබහ කරන්නත් ඈ බිය උනා. ඈව මට මුහුණුපොත තුළදි හමු වෙලා යම්තාක් දුරට මිතුරු උනාට පස්සෙ මට මෙන්න මෙහෙම කියනව ඈ, "අයියෙ මම පිරිමි ළමයින්ව ආශ්‍රය කරලම නෑ, මට ඒකට ගෙදරින් කිසිම නිදහසකුත් නෑ, ඉතින් ඒ අය හිතන පතන විදිය එයාල කොහොමද කියල මම අඳුරගන්නයි මම මේ විදියට මුහුණුපොතෙන් වත් පිරිමි ළමයි එක්ක කතාබහ කරන්නෙ " කියල. ඇගෙ මේ කතාවෙන්ම මට තේරුනා ඈට පිරිමි ළමුන් ගැන තියෙන දැණුම, ඇයට තියෙන නිදහස හා සමාජ අවබෝධය ගැන. නිදහස කියන එක උපරිමේටම විඳල තිබුන මට මේ කතාවත් එක්ක ඈ කෙරෙහි ලොකූ අනුකම්පාවක් ඇති උනා. මම ඈ ට පොරොන්දු උනා, ඈ සමග නිතර මැසේජ් කරන්න, ඇගේ හොඳම යහලුවෙක් සහෝදරයෙක් විදියට ඈට ඈ නොදත් හැම දෙයක් ගැනම කියා දෙන්න, පිරිමි ළමුන් ගැන, සමාජය ගැන. ඒ වගේම ඇයි ඈ ඔය කියන විදියට නිදහස තුළ සීමා වී සිටිය යුත්තේ කියලත්. ඇගේ නියම මුහුණුපොත තිබියදී ඈ ව්‍යාජ එකවුන්ට් එකකින් තමයි මේ මගෙත් එක්ක කතා කරන්නෙ.

            ඒකටත් ඈ හේතුව මට කිවුව. ඇගේ නියම එකවුන්ට් එකට ඇගේ සහෝදරය නිතර ලොග් වෙලා බලනව ඈ කා එක්ක ද කතා බහ කරන්නෙ, කාවද ඇසුරු කරන්නෙ කියල.ඒ නිසා ඈ ඇගේ නියම එකවුන්ට් එකට ලොග් වෙන්නෙ නැතුව ව්‍යාජ එකවුන්ට් එකක් හදාගෙන තමයි මේ පිරිමි ළමුන් ගැන අධ්‍යයනය කරන්නෙ කියල. (නමුත් මට හිතෙනව ඇගේ සහෝදරය කරපු දේ 100%ක්ම හරි කියල, පස්සෙ මම කලෙත් ඇගේ යහපත, නිසි මග ගමන් කරවීම සඳහා ඇගේ සහෝදරය කරපු දේම නේද කියල අද මටත් හිතෙනව.)

                  ඈට පිරිමි ළමුන් ඇසුරු කරන්නට ඇගේ යහලුවන් මෙන් සමාජය තුළ හැසිරෙන්නට නොලැබූ නිදහස තමයි ඈ මුහුණුපොත තුළින් සම්පූර්ණයෙන්ම නැති උනත් හොයාගෙන ගියෙ. ඈ ට ඒ වෙනකොටත් හොඳ යහලුවන් දෙදෙනෙක් හමු වෙලා තිබුන. එක්කෙනෙක් ඇගේ පාසලේ යෙහෙලියක්, අනෙකා ඒ යෙහෙලියගේ පෙම්වතා. යම්කිසි වාසියක් බලාගෙන ඔවුන්ගෙන් එක් අයෙක් ඈව ඇසුරු කලත් ඔවුන් දෙදෙනාම ඈව හොඳින් බලාගත්ත. ඈට ඔවදන් දුන්න. ඈ කරන්න යන දේවල් පවා ඇගේ යෙහෙලියගෙ පෙම්වතාට කියල තිබුන. ඇගේ යෙහෙලිය කුමුදු ලෙසත් ඇගේ පෙම්වතා මලිත් ලෙසත් ගම්මුකො. මේ මලිත්ට ටිකක් ලෝකෙ ගැන සමාජය ගැන අවබෝධයක් තිබුන. එයා ගොඩක් වටින උපදෙස් නයනි (මගේ ආදරවන්තිය)ට දීලත් තිබුන.  කුමුදුටත් වඩා මලිත් ඈට ඔවදන් උපදෙස් දීල පරිස්සම් කලා. ඒ වෙන හේතුවක් නිසා නෙමෙයි, ඔහුගෙ පෙම්වතියගෙ හොඳම යාලුව නිසා.

             නමුත් නයනි කියන්නෙ ටිකක් කියන දේ අහන්නෙ නැති විදියේ චරිතයක්. තමන්ගෙ වරදක් උනත් පිළිගන්න ටිකක් මැළි වෙන විදියෙ චරිතයක්. එදා මලිත් කියපු දේවල් ඇහුව නම් සමහර විට අද නයනි මේ පත් වෙලා ඉන්න තත්වෙට පත් නොවෙන්න ඉඩ තිබුන.

           ඈට වුවමනා උනේ හැමදේම කරල බලන්න ආසාවක්. ඒ සඳහා ඈට පුංචි නිදහසක් ලැබීම ප්‍රයෝජනයට ගත්ත. ඈ කවදාවත් තේරුම් ගත්තෙ නෑ නිදහසක් ලැබෙන්නෙ ඒකෙ උපරිමේට යන්න නෙමෙයි, ඒ ලැබුන නිදහස තුල තම ආසාවන් තෘප්ත කරගැනීමටයි කියන කාරණය. කවමදාවත් තමන්ට ලැබෙන නිදහසේ උපරිමේට යන්න හොඳ නෑ, මොකද ඒකෙන් ලැබෙන්න පුලුවන් යහපත් ප්‍රතිපල වලට වඩා ලැබිය හැකි අයහපත් ප්‍රතිපල වැඩියි. ඒක නම් මම කියන්නෙ මගේම අත්දැකීමෙන්. 

          ඒ වගේම ඈ කපටියි. ඈ මුලින්ම කෙනෙක්ව අධ්‍යනයන කරනව, "මට මෙයාව අන්ඳන්න පුලුවන් ද?" කියල. විස්වාස කරන්න ඔබ ගැන යම්තම් හෝ ඈට එසේ දැනුනොත් ඔයාට ගනන් කරගන්නත් බැරි තරම් බොරු ප්‍රමාණයක් කියල තියේවි ඔබේ ආදර සම්බන්ධතාවය හෝ මිත්‍රකම අවසන් වන විට. :-) ඈ එසේ හඳුනාගත් චරිත තිබුන. ඇගේ යහලුවන්, ඇගේ පියා ඒ අතරින් ප්‍රධානයි.

ඈ විවාහ වන පුද්ගලයා පිළිබඳ මගේ දැක්ම

1.එම පුද්ගලයා ධනවත් හෝ නොවන එක බාධාවක් නොවේවි, නමුත් එම පුද්ගලයා යම්තාක් දුරට නූගත් හෝ අපේ බාසාවෙන් කියනව නම් මෝඩ පහේ විය යුතුයි.

2. එසේ නොවී බුද්ධිමත් උගත් පුද්ගලයෙක් හා විවාහ වීමට ඇගේ බලාපොරොත්තුවක් පවතී නම් බොරු කිරීම්, රැවැට්ටීම් ආදී වංචනික ක්‍රියා කිසිවක් නොකිරීමට ඈ, ඈ වෙතම සම්බාධකයක් පනවා ගත යුතුය.

ඈ පිළිබඳව මගේ අධ්‍යයනයේ ඉතිරි කොටස සහ ඈ විවාහ වන පුද්ගලයා පිළිබඳ මගේ දැක්මට හේතුව මීළඟ පෝස්ටුවෙන් බලාපොරොත්තු වන්න... :-)

Tuesday, July 1, 2014

මගෙ හද මඩල මල් යහනකි ප්‍රභාවතී..

..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."


මගෙ හද මඩල මල් යහනකි ප්‍රභාවතී...
"මගෙ හද මඩල මල් යහනකි ප්‍රභාවතී...
ඔබෙ හද මඩල කටු යහනකි ප්‍රභාවතී..
කටු යහනේ ඉන්නට බෑ ප්‍රභාවතී...
මල් යහනෙන් බැස පලයන් ප්‍රභාවතී.."

                   මේ ගීතය කියන්නෙ ටිකක් දුක්පත් කොල්ලෙක්. ඒ කොල්ල යාලු වෙලා ඉන්න කෙල්ලට පණ වගේ ආදරෙයි... දෙන්න බොහෝම ආදරෙන් කල් ගෙවනව.... සතුටින් ඉන්නව ටික කාලයක්... මේ කාලය තුල තමන්ගෙ පෙම්වතිය ගැන තමන් නොදත් ඇගේ ගති ලක්ෂණ ටික ටික මේ කොල්ලට තේරුම් යනව... කොල්ලට තේරෙනව...

       කොල්ල වගේ ආදරේ තේරුම් අරගෙන ආදරේ කරන කෙනෙක් නෙමෙයි කියල මේ කෙල්ල... ඒක දැනෙන්නෙ කෙල්ල කරන යම් යම් දේවල් එයාගෙ හදවත ගොඩක් රිදෙන්න පටන් ගත්තම...

              කොල්ලට දැනෙනව තමන්ගෙ හදවත තරම් අවංක ආදරේ කියන දේ හොඳින් තේරුම්ගත්තු හදවතකට නෙමෙයි තමන් ආදරේ කරන්නෙ කියල... ඒ මොහොතේ එයා උපමා කරනව තමන්ගෙ හදවත මල්යහනාවක් ලෙසට. මේ විදියට තමන්ගෙ හදවත බිඳින කෙල්ලගෙ හද මඩල එයා උපමා කරනව කටු යහනකට. යහනක් කියන්නෙ සනීපෙන් නිදාගන්න වැතිරෙන්න පුලුවන් තැනක්. ඒත් මේ යහන කටු වලින් සැදුනු එකක්... ඒ නිසා නිදාගන්න පුලුවන් උනාට යහනෙ වේදනාවල් වැඩියි කටු ඇනෙන නිසා.. හැබැයි මේ වෙනකොට මේ දෙන්න දරෙන් වෙලිල ඉන්නෙ.. ඒ කටු යහනෙ නිදාගෙන උන්නෙ.. ඒත් තව දුරටත් එහෙම කරන්න බෑ.. ඒ නිසා මේ තරුණය ආයාචනා කරනව තමන්ගෙ මල් යහනක් වගේ තියෙන හද මඩලෙන් කටු යහනක් වූ තරුණියට ඉන් පිට වෙලා යන ලෙස...

             ඊට පස්සෙ මේ තරුණය තම ආදරවන්තිය සම්බන්ධ අතීතාවර්ජනයක් කරනව.. පලමු වර හමු වෙලා දෙන්න ආදරෙන් වෙලිල... සිනා සිසී දෝතින් යහන සැදූ ලියේ කියන එක මම එක්තරා රූපකයක් විදියටත් දකිනව. ඒ තුළින් රචකය ගම්‍ය කරන්න හදනව ඈගේ කැමැත්තෙන්මයි මේ ආදරවන්තය සමඟ පෙමින් වෙළෙන්නෙ. ඈගේ ආසාව නිසයි මේ ආදරවන්තය සමඟ පෙමින් වෙළෙන්නෙ. මෙතනදි සිනා සිසී දෝතින් යහන තැනූ ලියේ කියන එකෙන් කියවෙනව දෙන්න බෝම කැමැත්තෙන්.. ආදරෙන්.. ආසාවෙන්... මේ විදියට ආදරෙන් වෙලිල එකතු වෙන්නෙ...

"සිනා සිසී දෝතින් යහන තැනු ලීයේ..
මුවාවට ගොසින් ඉකිබිද හැඩුව ලීයේ..
මටම නොවයි කාටත් පෙම් බැන්ද ලීයේ..
මදෙස බල බලා නාඩන් කුමාරියේ.."

             ඒ අතරතුර.... තමන්ගෙ ආදරවන්තිය ටික ටික තමන්ගෙ හිත රිදවන බව තේරුම්ගන්නව. "මටම නොවෙයි කාටත් පෙම් බැන්ඳ ලියේ" කියමින් මේ තරුණය එක එල්ලේම කියා සිටිනව එයාගෙ හිත රිදෙන්න තරම් තමන්ගෙ ආදරවන්තිය කරපු වරද මොකක්ද කියල.. ආදරවන්තිය දන්නෙ නෑ.. ආදරේ කියන්නෙ එක්කෙනෙක් වෙනුවෙන් විතරක්ම ඇති වෙන්න පුලුවන් දෙයක් ය කියල.. ඒක වරදක් නෙමෙයි.. ඒක නොදැනීම. ආදරේ ගැන නොදැනීම.. නොවැටහීම විදියටයි මේ තරුණය දකින්නෙ.. ඒත් තමන් එක්ක හැසිරෙන විදියට තමන්ගෙ ආදරවන්තිය නොදැනීම නිසා හෝ වෙනත් අයත් සමඟත් හැසිරීම, ඒ අයටත් තමාට මෙන්ම ආදරය කිරීම මේ සත්‍ය ප්‍රේමවන්තයගෙ හිත ගොඩක් රිදවනව.

       ආදරවන්තිය මේ තරුණය දිහා බල බල හඬනව.. තවමත් ඈ ට සත්‍ය ප්‍රේමය තේරුම්ගත නොහැකියි. ඈට අවශ්‍ය පිරිමින් කීප දෙනෙක්ටම ආලය කරන්න
, ඈට දැනෙන්නෙ නෑ ආලය යනු එක් අයෙක්ට පමණක් පිදිය යුතු පිදිය හැකි දෙයක් කියා.. කොටින්ම ඈ සිතුවත් ඈ ප්‍රේම කරන බව සිදු වෙන්නෙ ඈ එකිනෙකා ආශ්‍රය කිරීමක් පමණයි. කිසිදු ආලයක් ඈ තුළ නැත. නමුත් ඈ එය ආලය ලෙස සිතයි. තමන්ට ආලය කරන පෙම්වතා මෙන්ම ඈ ආලය කරන අනෙක් තරුණයන් ද එක්ක ගත් කල ඈ ට එක් අයෙක් තෝරාගත නොහැකියි. ඒ නිසා තම ආදරවන්තයා දිහා බලමින් ඈ තීරණයක් ගත නොහැකිව හඬමින් පසු වේ. ඒට හඬන්නට සිදු වන්නේ ඈට ආලය කල මෙම තරුණයා ඈට ඇගේ ආලය තෝරාගැනීම සඳහා තීරණාත්මක අවස්ථාවක් ඈ වෙත ලබා දී ඇති නිසයි.      
    ඒ තීරණාත්මක අවස්ථාවට තරුණයා එළැබෙන්නේ පෙර කොටසේදී කතා කල ඇගේ කටු යහනක් වන් වූ හදමඩල තුල තව දුරටත් රැඳී සිටිය නොහැකි නිසාවෙනි. එක්කෝ මල් යහනෙන් ඈ බැස යායුතු ය. නැති නම් කටු යහන මල් යහනක් බවට පත් කරගතයුතුය.

"
පිල් ගොමුවකින් පිල් ගොමුවට ඇදුණු ලීයේ..
මල්වර සුවඳ ඇදී වරලස ඉනුව ලීයේ..
පවලම් පොටෙන් ගිලිහුණු තාරකාවියේ..
කරපු පවට නාඩන් දෙවතාවියේ.."

                  පිල් ගොමුවක් උපතින්ම පිහිටන එකම ලස්සනම සතා තමයි මොණරා. මොණරා කියන්නෙ පිරිමි සතා. ඉතින් පිල් ගොමුවකින් පිල් ගොමුවට ඇදුනු ලියේ කියන උපමාවෙන් තනිකරම කතා කරන්නෙ මේ කතා නායිකාව වෙච්ච තරුණියගෙ අනාගතේ ගැන. මේ වෙනකොට අර පහු ගිය කොටසෙදි වෙච්ච තීරණාත්මක අවස්ථාවෙදි කටු යහන මල් යහනෙන් බැස යන්න තීරණය කරනව. ඒ කිවුවෙ තමන්ගෙ ආදරවන්තය අත හැරල තමන් ආලය කරපු වෙනත් කෙනෙක් වෙතට ගිහින්. ඈ සෙබඩක්. මොණරාගෙ ගැහැණු සතෙක්. ස්වභාවයෙන්ම සෙබඩ යනු ලස්සනට තටු විහිදිය හැකි ලස්සන සහකාරයන් සොයා යන සත්ව කොටසක්. අනික තමයි සෙබඩක් එක සහකාරයෙක් ළඟ දිගටම රැදෙන්නෙ නෑ.. ඉන්න සහකාරයට වඩා ලස්සන පිල් කළඹක් හිමි අයෙක් වේ නම් ඈ පසුබට වෙන්නෙ නෑ ඒ මොහොතෙම එම සහකාරයා වෙත යන්න.. ගෙල බැඳි මංගල මාලය ඈට යම් සීමාවක් වී තිබුනත් ඈ එය ගලවා තම නිදහස සොයා යනව. ඈත් අර කී සෙබඩ මෙන් සහකාරයන් සොයා යනව. නමුත් සෑ හට එක් සහකාරයෙක් සමග දිගු කලක් සිටිය හැකි වන්නේ නෑ.. ඒ නිසා නිතර ඈ සහකාරයන් මාරු කරනව. ඒ වගේම ඈ ගැන ඇගේ හැටි ගැන දන්නා සහකාරයක් ඈ මන් ළඟ වැඩිකල් තියාගැනීමට යුහුසුළු වෙන්නෙත් නෑ. නමුත් ඈ ට මග වැරදිලා. ඈත් අර සෙබඩිය මෙන් පිල් ගොමුවෙන් පිල් ගොමු සොයා ගොස් යම් දිනක අතරමන් වෙනව, මග වරදාගන්නව....කවුරුවත් ඈ තබාගන්න ට කැමති වෙන්නෙ නෑ....
            තමුන් ගැන සියල්ල දැන සිටි
, තමුන්ට පණ මෙන් ආලය කර, තමුන් ව ආදරෙන් බලාගත් තම ප්‍රථම ආදරවන්තයා ඈ හට එක්කෝ තමන් ගෙන් ඉවත් වෙන ලෙස හෝ කටු යහන මල් යහනක් කර ඒ මත තමන්ට සැතපෙන්නට ඉඩ දෙන ලෙස ඉල්ලූ අවස්තාව මේ තරුණියට සිහි වෙනව. තමුන් ගත් අනුවණ තීරණය වැටහෙනව. ආලය යනු කුමක්දැයි ටිකින් ටික වැටහෙන්නට ගන්නව... නමුත් ඈ ප්‍රමාද වැඩියි. ඈ තේරුම් ගන්නව.. 
 හඬනව.. 
මහ මුහුද තරම් කඳුළු වගුරුවමින් ඈ කළ වරද ගැන පසුතැවෙමින් හඬනව.. 
අන්න ඒ මොහොතේ බැස යන කටු යහනට අත වනමින් හදවතින්ම සුභ පැතු තම හිටපු ආදරවන්තය කොහේදෝ ඉඳන් මේම කියනව..... "කරපු පවට නාඩන් දෙවතාවියේ". ඒත් එහෙම කියනව හැර ආදරවන්තයට වෙන කරන්න දෙයක් නෑ, ආදරවන්තිය ඒ වනවිටත් ගොඩක් ප්‍රමාද වෙලා වැඩියි...

ගායනය - ගුණදාස කපුගේ මහතා

අහල බලන්න මෙතනින් - https://www.youtube.com/watch?v=oSAlR5akyJU

ප.ලි. - මේක මගෙ ආදර කතාවත් එක්කම ලිවුවෙ මම මේ ගීතය තේරුම් කරල දුන්න මේ විදියටම ඇයට. එවෙලෙ ඈ අහනව ඕක කියල දැන් ඔයා කියන්නෙ මම එහෙමයි කියල ද කියල... මම කිවුව ඒක මම කියන්න ඕන දෙයක් නෙමෙයි. ඔයා කරපු දේවල් එක්ක ඔයාම හිතල බලන්න කියල... මොකද මේ වෙනකොට ඈ මාව අත ඇරල තවත් කොල්ලෙක්ට බලාපොරොත්තු ඇති වෙන විදියට වැඩ කරල ඒ කොල්ලව අත ඇරල දැන් තවත් කොල්ලෙක් එක්කත් යාලු වෙලා ඉන්න නිසා. මම මේ කෙල්ල ගැන හොඳටම දන්න නිසා හොඳයි, ඒත් අර කිසි දෙයක් දන්නෙ නැතුව ආදරෙන් අන්ධ වෙලා ඉන්න අර අහිංසක කපටි කොල්ල පව්. ඒ කොල්ලට හිතන්න තිබුන මාවත් අත ඇරල එයාගෙ හොඳම යාලුවටත් බලාපොරොත්තු දීල අත ඇරපු තමන්ටත් කවද හරි ඒ දේම වෙයි ද කියල... මේ කෙල්ලත් කොල්ලත් මේ දවස්වල ඉන්නෙ මීගමුවෙ. කොල්ලනේ මේ කෙල්ලගෙන් ටිකක් පරිස්සම් උනොත් හොඳයි ඔය මීගමුව පැත්තෙ ඉන්න කොල්ලො...

Wednesday, June 11, 2014

..මගේ ආදර කතාව - 2..

..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."


ආදර කතාවෙ පළවෙනි කොටස ---> මෙතනින්

මගේ ආදරවන්තියව මට හමු වීම
               මම ඒ වෙනකොට මගෙ ජීවිතේ ගොඩක් දේවල් නැති කරගෙන තිබුනෙ... සමහර දේවල් මගෙ කැමැත්තෙන්ම අත ඇරිය. මගෙ යාලුවො මට කතා කලේ ෆේස්බුකා කියල... මට අත අරින්න බෑ කිවුව ෆේස්බුක්. මම ෆේස්බුක් අත ඇරිය. ෆෝන් එක අත අරින්න බෑ කිවුව, ෆෝන් එකත් විකුණල දැම්ම.. කොණ්ඩෙට තියෙන ආසාව අත අරින්න බෑ කිවුව... තට්ටෙම ගෑව.. ඒ විතරක් නෙමෙයි මගෙ කායික මානසික සෞඛ්‍යයයත් මම බොහොම දරුණු විදියට නැති කරගෙන තිබුන.. මේ ඒ කාලය -->  විදවීමයි වින්දනයයි එකතු වෙන තිත..

              ආයෙමත්.... මට ගෙදර කරන්න තරම් විශේෂ වැඩක් නොතිබුන අතර වර්ක්ශොප් එකේ වැඩට ගියා. ඒ අතර මම අපේ ප්‍රදේශයේ ජනප්‍රිය ආයතනයක තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමාවක් හදාරන්න ගියා. ඒ කාලයේ පංති එන යහලුවන් එක්ක සම්බන්ධ වෙන්න ජංගම දුරකතනය සහ ෆේස්බුක් නැවත භාවිතය පටන් ගත්ත.

      ඔන්න ඔය කාලෙ මගෙ නෑදෑ වෙන අක්ක කෙනෙක් එයාගෙ දුව ගැන ලැබුන තොරතුරක් මත මගෙන් උදවුවක් ඉල්ලුව. එයාගෙ දුව එයාට හොරෙන් ෆේස්බුක් එකවුන්ට් එකක් හදාගෙන ද කියල බලන්නයි කියල. ඔන්න ඉතින් මම හොයන්න පටන් ගත්ත. එයාගෙ නම ශලිනි. මම කොයි තරම් හෙවුවත් එහෙම එකක් හම්බ උනේ නෑ, ඒ කිවුවෙ අර මගෙ නංගි කෙනාගෙ කියල සැක කල හැකි එකවුන්ට් එකක්. ඒත් මට දෙයක් හම්බ උනා!! ඒ ශලිනි කියල ෆේස්බුක් එකවුන්ට් එකක් , මගෙ ලිස්ට් එකේ යාලුවො කීපදෙනෙකුත් ඒ එකවුන්ට් එකේ හිටිය. මේ අර නංගිද කියල පොඩි සැකයක් තිබුන නිසා කෝකටත් කියල රික්වෙස්ට් එකක් දැම්ම. ඔන්න මගෙ ආදර කතාවෙ ආරම්භය... මීට වසර 3,4කට පමණ පෙර ශලිනි නම් අන්වර්ථ නාමයකින් මුහුණු පොතේ සැඟවී සිටි මගේ ආදරවන්තිය හමු වීම. 

මුලදි මම ඈ එක්ක මැසේජ් කලේ ඇගේ පිංතූර වලට කමෙන්ට් කලේ මේ අර මට හොයන්න කියපු නංගි ද කියල පුංචි සැකයකුත් එක්ක. ඒත් පසුකාලීනව ඒ සැකය දුරු වෙලා මේ කියපු ශලිනි මගෙ හොඳම යාලුවෙක් උනා. මේ කාලය ඇතුලත මම ගොඩක් දේවල් මගෙ ආදරවන්තිය පිළිබඳව දැනගත්ත. ඈ ගැන ගොඩක් අධ්‍යයනය කලා.


මීළඟට ඈ පිළිබඳව මගේ අධ්‍යයනය, ඇගේ විස්තර, ඇගේ අතීතය.... මීළඟ පෝස්ටුවෙන් බලාපොරොත්තු වන්න...

සැ. යු. - මෙම පෝස්ටුව තුළ මෙයට සම්බන්ධ ලින්ක් කීපයක්ම දමා තිබේ.

Tuesday, June 10, 2014

..මගේ ආදර කතාව - 1..

..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

             
                     මගෙ මේ ආදර කතාව පටන් ගන්නෙ  කොයි අවුරුද්දෙ ද කවද ද කියල නම් මම කියන්නෙ නෑ... හැබැයි ඔයාලට ඒක හොයාගන්න පුලුවන් වෙයි... ඒත් මම මේ කියන්න යන ආදර කතාවෙ කිසිම දෙයක් බොරුවක් නෙමෙයි.. ඒක මට දිවුරල කියන්න පුලුවන්...

මගේ මේ පුංචි ආදර කතාව සම්බන්ධව ලියවෙච්ච පෝස්ට් කීපයක් තියෙනව...මේ තියෙන්නෙ ඒවල තියෙන සමහර උපුටාගැනීම් සමඟ ලින්ක්...

"ඒ චරිතය හරි අමුතු විදියට මාව එයාට නතු කරගත්තෙ.... කොයි තරම් ද කියනව නම් දැඩි හිතක් එක්ක දැඩි ප්‍රතිපත්ති තිබුන මාව බලල් පැටියෙක් වගෙ එයා ඔන්ලයින් එන වෙලාවට මාවත් ඌන්ලයින් ගෙන්නව ගන්න සමත් උනා. තවත් පුදුමයක්. මගෙ ෆේස්බුක් යාලුවො හොඳටම දන්නව, මම ෆේස්බුක් දවසෙම ලොග් වෙලා හිටියත් ඔන්ලයින් නම් යන්නෙ නැති විත්තිය."

"ඒ වගේම මේ කෙල්ලත් එක්ක යාලු වෙන කොල්ල කොයි තරම් බුද්ධියෙන් වැඩ කරන කොල්ලෙක් වෙන්න ඕනද මේ කෙල්ලව හසුරවන්න? මම කියන්නෙ හොඳ විදියෙ කොල්ලෙක් ගැන. මොකද බුද්ධිමත් කොල්ලෙක් නම් මම තේරුම් ගත්ත වගේ මෙන්න මේක තේරුම් ගන්නව මේ සිද්ධියෙන්, "මේ ලෝකෙ තමන් ගොඩක්ම ආදරේ කරන තමන්ව චූටි කාලෙ ඉඳල ලොකුමහත් කරල අවුරුදු දහ අටක්ම හොඳින් බලාගත්තු තාත්තට මෙහෙම කරන්න පුලුවන් නම් එයාට වෙන කෙනෙක්ගෙ ආදරයක් වෙනුවෙන්.., ඒ අවුරුදු දෙක තුනක ආදරයක් තියෙන වෙන කෙනාට ඔයිටත් වඩා කොයි තරම් දේවල් කරන්න පුලුවන් වෙයි ද?.. තාත්තට මෙහෙම නම්..?" "

"අපි එහෙම අපේ හිත් රවටගන්නෙ.... අපේම හිත් හදාගන්න නේද කියලත් හිතෙනව... ඒක එහෙම නම්.. තමන්ගෙ හිත රවටගන්න එකෙත් වරදක් නෑ වගෙයි නේද?"

"එයාලටම එයාලව තේරුම්ගන්න බැරි... එයාලටම එයාල ගැන තේරෙනෙ නැති..එයාලටම එයාල බලාපොරොත්තු වෙන්නෙ මොනවද කියල තේරුම් ගන්න බැරි.. කොයි තරම් ඒක කියල දෙන්න හැදුවත් තේරුම්ගන්නෙ නැති අය ගැන(සමහර විට අර කියනවත් වගේ ඉන්න විසේකාර වයස නිසා ටිකක් තේරුම්ගන්න අමාරු කාලෙ නිසා වෙන්නත් ඇති.) එහෙම අය ආදරේ කියන දේ වැරදියට තේරුම්ගන්නව..."

"සමහර විට වෙන යාලුවෙක් එක්ක කතා කර කර සතුටු වෙනකොට තමන්ට ගොඩක් ආදරේ කෙනෙක් ඉන්නව නේද../..ආදරේ කරපු කෙනෙක් හිටිය නේද කියන එකත් අමතක වෙයි.. මොකද ඒක... ආදරේ... ඒක ආදරේම උනා නම් කෙල්ලෙක්ට/ කොල්ලෙක්ට තමන්ගෙ හෘද සාක්ෂියට එකඟව එහෙම දෙයක් කරන්න අමාරුයි.. කොයි තරම් උනත් වෙන කෙනෙක් තමන්ට ලං වෙද්දි තියා ලං වෙන්න හදනව කියල දැනෙනකොටත් ඒ කෙනා ගැන විකර්ෂණයක් ඇති වෙන්නෙ සැබෑ ආදරේ දි විතරමයි....."

මුලින්ම මගෙ කතාවෙ එන චරිත වලට ආදර්ශ නම් දෙන්නම්... ඇත්ත නම් කියන එක හරි නෑ නෙ....

ප්‍රධානම චරිතය - ආදරවන්තිය නයනි
ආදරවන්තියගෙ මව - මැණිකේ
ආදරවන්තියගෙ පියා - සමන්
ආදරවන්තියගෙ සහෝදරයා - විමල්
ආදරවන්තියගෙ යහලු චරිත - කුමුදු, මලිත්, සිතුම්, නිමන්ත, ශ්‍යාමල්, පළිඟු, ශෙහානි

මෙන්න චරිත ගැන විග්‍රහය -
                  මේ කතාවට ආදරවන්තියගෙ මව සම්බන්ධයක් නෑ.. මොකද ඇය මෙතන නෑ..   නයනි චූටි කාලෙ, මයෙ හිතේ පහ හය වසරෙ ඉඳන්ම ඈව බලාගන්නෙ ඇගේ පියා සමන් සහ පියාගේ දයාබර මෑණියන් හා ඇගේ සහෝදරයා විමල් විසින්.. පොඩි කාලෙ ඉඳලම නයනි ට පිරිමි ළමුන් ආශ්‍රය ඉඩක් දෙන්නෙම නෑ ඇගේ පියාණන් හා සහෝදරය..... ඈව පසුව ඇතුලු කරනව ගැහැණු ළමුන් පමණක් විතරක් ඉන්න පාසලකට හත වසරෙදි පමණ මගෙ මතකයට අනුව නම්..

කොටින්ම සාමාන්‍ය පෙළ හදාරද්දීවත් ඈව අමතර පංති යැවීමක් කරන්නෙ නෑ. මේ අතරතුර ඇගේ සහෝදරය දෙමවුපියන්ගේත් වැඩි කැමැත්තක් නැති උවත් විවාහ වී විදේශගත වෙනව. ඒ සඳහා වියදම් දරන්නේ නයනිගේ පියාණන් විසින්.මේ කාලය වන විට නයනිගේ පියාණන් හට පදිංචි ස්ථානත් කීපවරක්ම මාරු කරන්නත් සිද්ධ වෙනව යම් යම් ආර්ථික ප්‍රශ්න හා වෙනත් ගැටලු නිසාවෙන්..

මීළඟ කොටස ඊළඟ පෝස්ටුවෙන්.. අහම්බයකින් මුහුණුපොත තුළදී නයනි ව හමු වීම....


Tuesday, April 15, 2014

..වයසට යන අවුරුදු..

..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වෙලා.... අවුරුද්දත් ගෙවිල ගියා... කාලය ගෙවිල යන ඉක්මන... නේද?

               හැම පාරම අවුරුද්දත් එක්ක ගොඩක් දේවල් වෙනස් වෙනව.... අපි පුංචියට හිටපු කාලෙට වඩා දැන් අපි අවුරුදු සමරන විදිය වෙනස් වෙලා... අම්ම නම් කියන්නෙ දැන් අපි "ලොකු ලමයි" ලු. අම්මට නම් තවමත් අපි ළමයි... ඒක නම් කවදාවත් වෙනස් වෙන්නෙ නෑ මම දන්නව නෙ.. :) ඉස්සර අපි අවුරුද්ද එක්ක ආසාවෙන් බලන් හිටපු දේවල් නෙමෙයි දැන් බලාපොරොත්තු වෙන්නෙ.... ඉස්සර අවුරුදු එන්නත් කලින් ඉඳන් රතිඥ්ඥ ගේනකම් බලන් උන්නෙ... නැකත ලං වෙනකකොටත් එක එක පත්තු කරලම පෙට්ටි දෙක තුනක් ඉවරයි. ටින් වලට දාල පොල්කටු වලට දාල ඒව පත්තු කරල එක එක විදියෙ අත්හදාබැලීම් කලා. ඒත් දැන් ඒ ආසාව නෑ....

ඒත් ඉතින් මම තවම ගෙදර පොඩි එකා නෙ... ඒ නිසා රතිඥ්ඥා නම් ගේනවමයි...  :) 

      හැමදාමත් ඉස්සර වගේ පුංචි විදියට පුංචි සිතුවිලිත් එක්ක ඉන්න තිබුන නම් කොයි තරම් හොඳ ද කියලත් හිතෙනව... දුකයි නේද....? අවුරුද්දට හම්බ වෙන පුංචි සරම් කොටේකුත් ඇඳගෙන වත්ත පහල දුවන්න, රතිඥ්ඥා පත්තු කරන්න.. එහෙම ඇඳගෙන නෑදෑ ගෙවල් වල යන්න කොයි තරම් ආසාවක් තිබුන ද..? තාමත් ඒ ඇඳුම් ඇඳගෙන නෑදෑ ගෙවල් වල යන්න තිබුන ආසාව නම් තියෙනව..ඒත් ඉස්සරට වඩා වෙනස්. ඉස්සර නම් ඉතින් ඒකෙ අමුතුම සතුටක් නිසයි එහෙම කලේ. ඒත් දැන් ඒක ඇඳගෙන ලස්සන පෙන්නන්නයි එහෙම කරන්නෙ.. ඒ සිතිවිල්ල පවා කොයි තරම් වෙනස් වෙලා ද?
        තාත්තයි අම්මයි රණ්ඩු වෙලා නැකතට කිරිබත් වත් කන්න නැතිව අවුරුදු ගෙවිච්ච අඳුරු මතකත් නැතිවාම නෙමෙයි. මට හොඳට මතකයි තාත්ත අවුරුදු දවසට කලින් දවසෙ කොහෙද ගිහින් හොඳටම බීල ඇවිත් අම්ම එක්ක රණ්ඩු වෙලා උදේ වෙනකම් ඇඳේ වමන දාපු දවස. මට ඒ අවුරුද්දෙ රතිඥ්ඥාවත් ගෙනත් තිබුනෙ නෑ. අම්ම වත්ත පහලට යන පඩිපෙල උඩ ඉඳගෙන තාත්ත එක්ක තරහට වීදුරුවකට අරක්කු දාගෙන බිබී හිටිය. තාත්තට එතකොටත් සිහියක් නෑ, සාලෙට වෙලා ඉඳගෙන හිටිය. ඒ කවුරුවත් දැක්කෙ නෑ එවෙලෙ අනිත් හැම ගෙදරකම නැකතට කිරිබත් කනකොට පුංචි මම හිත ගල් කරගෙන වත්තට වෙලා මැරෙන්න තරම් දුකින් වෙච්ච දේ ගැන හිත හිත ඇවිද ඇවිද හිටපු විදිය අහස දිහා බලන්.. :(  මාව දැකල ද කොහෙද සුදු මාම වැට ළඟට ඇවිත් රතිඥ්ඥා පෙට්ටියක් ගෙනත් දීල ගියා මගෙ මූණ දිහා බලල. විස්වාස කරන්න රතිඥ්ඥා වලට ඒ තරම් ආස කරපු මම ඒ රතිඥ්ඥා පත්තු කරනව තියා ඒක කඩන්නවත් මගෙ හිතේ තිබුනෙ නෑ.. ඒ පෙට්ටියම මම ඊට පස්සෙ දවසක මගෙ යාලුවෙක්ට දුන්න... අපේ අම්මල කොයි තරම් මට ආදරේ උනත් මගේ හිතේ සංවේදීබව තේරුම්ගන්න පුලුවන් උනේ නෑ මම සෑහෙන වයසකට එනකම්ම... තාත්ත තමයි ඒක ටිකක්වත් දැනන් උන්නෙ.. ඒත් හරියටම නෙමෙයි... අම්මෝ, ඒ අවුරුද්දට වඩා නම් ඊට කලින් නෑ ඒ තරම්ම නැතත් ඊට පස්සෙ ලබපු අවුරුදු නම් හොඳයි.
      මේ අවුරුද්ද නම් වැඩිහිටි කෙනෙක් විදියට මට ගොඩක් සරුයි. මොකද ආපහු හැරිල බලල හරිගස්සගන්න සතුටු වෙන්න දේවල් ගොඩක් තියෙනව මගෙ ජීවිතේ.

                          ඒත්...
          ඒ සතුටට වඩා මොකක්දෝ හැංගිච්ච ලොකූ දුකක් තියෙනව හිතේ.. ඒ තමයි "අපි වයසට ගිහිල්ල" කියන දේ.. ඒ අතරෙ අම්ම තාත්ත එක්ක හුරතල් වෙවී ඉන්න පුලුවන් කාලෙත් ටික ටික අඩු වෙනව නේද කියල දැනෙනකොට ඊටත් වඩා දුකක් දැනෙනව... ඒත් අඬන්න ද හිනා වෙන්න ද සතුටු වෙන්න ද කියල හිතාගන්න බෑ.. ඒත් අපි ඒ යථාර්තයට මූණ දෙන්න ඕන නේද? බුදු හාමුදුරුවො කිවුව වෙනස් වීම මේක තමයි. අපිට හැමදාමත් ඒක තේරෙනව. ඒත් ඒක සිහි වෙනකොට දැනෙන දුක නිසා අපි ඒක තේරුම් අරන් විතරක් මඟ හරිනව, ඒ මාර්ගය වෙනස් කරල අපි යා යුතු මාර්ගයට යන්න උත්සහ නොකරම... එහෙම කරන්නෙ ඒක ඒ තරම් කරන්න පහසු දෙයක් නෙමෙයි නිසා වෙන්න ඇති. 

               ඒ උත්සහය නොකලත් අපි ඒ තේරුම් ගන්න දේ තුළින් අපි කොහොම හරි යථාර්තයට මුහුණ දිය යුතුයි. මම හිතන්නෙ ඒකයි වෙන්න ඕන... ඒ තරම් හිත ශක්තිමත් නැති අය තමයි ඔය වගේ වෙලාවල් වලට අඬන්නෙ... ඒත් ඇඬුව කියල ඒක වෙනස් වෙන දෙයක් නෙමෙයි.. වෙනස් වෙන හැම දේම වෙනස් වෙනවමයි.  ඒක තමයි සත්‍ය...

               මගෙ බ්ලොග් එක කියවන කමෙන්ට් කරන හැමෝගෙම හිත් වල ඒ ශක්තිය තියෙනව. ඒක මම හොඳටම දන්නව... මොකද මගෙ බ්ලොග් එක හැමෝම කියවන්නෙ කමෙන්ට් කරන්නෙ නෑ.. මොකද මගෙ බ්ලොග් එක මවන සුරංගනා ලෝක, බඩ පැලෙනකම් හිනා යන විහිලු නෑ.. ඒ නිසා හැමෝම මගෙ බ්ලොග් එක කියවන්නෙත් නෑ... මගෙ එක පෝස්ට් එකක හරි එහෙම දේවල් තියෙනව නම්. ඒව කියවපු හැම කෙනෙක්ම හොඳින්ම දන්නව, ඒ හැම දෙයක්ම අපේ සැබෑ ලෝකෙ යථාර්තය එක්ක සම්බන්ධයි කියල. ඒ හැම දේකම ජීවිතේට ගතයුත්තක් තියෙනව කියල...



                 හුඟ කාලෙකට පස්සෙ අද මේ ලියපු පෝස්ටුව විශේෂයි. ඒ ඇයි කියන්න නම් මටත් හරියටම තේරෙන්නෙ නෑ.. ඒත් මේ තරම් දුර මගෙ බ්ලොග් එකත් එක්ක ආපු මගෙ බ්ලොග් එක කියවපු කමෙන්ට් කරපු වගේම කියවල නැති කමෙන්ට් කරල නැති හැමෝටමත් මගේ හෘදයාංගම ස්තූතිය පුද කරනව. ඒ වගේම සයිබර් ලෝක වාසී සෑම සියලු දෙයානටම මේ ලැබුවා වූ අලුත් අවුරුද්ද සාමය සතුට සෞභාග්‍ය සපිරි සුභ නව වසරක් වේවා කියල ප්‍රාර්ථනා කරනව.. ඒක මේ අවුරුද්දට විතරක් සීමා වෙච්ච දෙයක් නෙමෙයි.. ඔයාලගෙ ජීවිත කාලෙම එහෙම වෙන්න කියලයි මගෙ නම් ප්‍රාර්ථනාව...

Tuesday, March 11, 2014

මා අන්තවාදියෙක්මි???


..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

       මේ කතාවට පාදක වෙන්නෙ මීට කලිනුත් මගේ පෝස්ටුවක කතාවට පාදක වෙච්ච මගේ මුහුණුපොතේ ඉන්න හොඳ යෙහෙලියකගෙ මුහුණුපොතේ මේ ළඟකදි පළවෙච්ච එක ස්ටේටස් එකක්....

මෙන්න ඒක -
 "මං සිංහලයෙක් වුනේ මතක ඇති දා ඉඳන් සිංහල කතා කරපු නිසා..
මං බෞද්ධයෙක් වුනේ අම්මා, තාත්තා බෞද්ධ නිසා..
මං ශ්‍රි ලාංකික වුනේ මේ රටේ ඉපදුනු නිසා..
ඒත්, "ශ්‍රි ලාංකික සිංහල බෞද්ධයෙක්" කියන එක කොච්චර ආඩම්බර කාරණයකද කියලා මං දැන ගත්තේ මුහුණු පොතේ ඉන්න, fake profile වලින් සුරංගනා කතා කියන අයියලා නිසා..

අනේ වාසනාවන්.."

වඩාත් හොඳයි කියල හිතෙනව මෙතන ඉඳන් අපි දෙන්න අතර ගිය කමෙන්ට් සංවාදය ඒ විදියටම දැම්මොත්.

මම -"ඔව්... හැබැයි මේවත් අමතක කරන්න එපා නංගොඔයාට ඉපදුන දවසෙ ඉඳල සිංහල වෙන්න කතා කරන්න සිංහල භාශාවක් තිබුනෙ අපේ මුතුන්මිත්තො එහෙම දෙයක් අපිට ඉතුරු කරල දීපු නිසාඔයාට බෞද්ධ වෙන්න ඔයාගෙ අම්ම තාත්තටත් එයාලගෙ අම්ම තාත්තටත් අදහන්න බුදුහාමුදුරුවො නිර්වාන මාර්ගය පසක් කරල දුන්න නිසානැත්තම් මෙලහකටත් ඔයත් අර අඳුරෙ අතපතගාගෙන පේන සෑම දේ සැබෑව කියන මිථ්‍යාවෙ වෙලිල,

 ඔයා ශ්‍රී ලාංකික උනේ ඔයාට ඉපදෙන්න ශ්‍රී ලංකාව කියල රටක් ඉතුරු වෙලා තිබුන නිසාඑහෙම නොවී මේ රට ඒ කාලෙම මහ මුහුදට යට වෙලා තිබුන නම් ඔයා අද ඇත්තටම මේ ලෝකේ කවදාවත්ම සිදු නොවුන විදියෙ සුරංගනා කතා අහ අහ, මවාගත්තු ලෝකවල සුපර්මෑන් ල ස්පයිඩර්මෑන්ල වෙන්න හීන දැක දැක ලොකු වෙච්ච ලමා කාලයක් ඉතුරු වෙච්ච, කරන්න තියෙන හැම වරදක්ම කරල ඒ වැරදි වෙන කෙනෙක්ට පටවල නිර්දෝෂී වෙන හෝ ලෝකෙ වැටෙන්න පුලුවන් පහත්ම තැනකට වැටිච්ච කෙනෙක් වෙලා ඔයා හරිම වාසනාවන්තයි කියල හිතාගෙන ජීවත් වෙයි.

ඒත් කඩතුරාවෙන් වැසිච්ච සැබෑ ලෝකයෙ වාසනාවන්තකම මොකක්ද, සතුට කියන්නෙ මොකක්ද කියන එක ජීවත් වෙනව කියන්නෙ මොකක්ද කියන සැබෑ යථාර්තය නම් ඔයා කවමදාවත් තේරුම්ගන්න එකක් නැති වෙයි නංගො...

ඔය අයියල කියපු සුංගනා කතා මොනවද කියල නම් මම දන්නෙ නෑ, හැබැයි ඔයා ශ්‍රී ලාංකික සිංහල බෞද්ධයෙක් වෙච්ච නිසා ඔයාට චූටි කාලෙ ඉඳලම සුරංගනා කතා වල ජීවත් නොවුනු සැබෑ වීරවරයොයි, සුරංගනා කතා වල එන වීරවරයොයි අතර වෙනස නම් දැනගන්න ලැබෙන්න ඇති වෙන මොනව නැතත්..
"

ඇය - "අයියේ සිංහල කතා නොකරා නම් මම වෙන භාශාවක් කතා කරයි.. බුද්ධාගම විතරක්ම නෙමෙයි මේ ලොකේ තියෙන එකම ආගම.. මනුස්සයෙක් බෞද්ධයෙක් නෙමෙයි කියන්නෙ, ඒ මිනිහා මෝඩයෙක් කියන එක නෙමෙයි.. මන් ලංකවේ ඉපදුනේ නැත්තන් වෙන රටක ඉපදෙයි.. ලංකාවේ ඉපදුනා කියන එක ඔච්චර ආඩම්බර වෙන්න කාරණයක් නෙමේ.. මං "ශ්‍රී ලාංකික සිංහල බෞද්ධයෙක්" වෙච්ච නිසා මට ලැබිච්ච කිසිම දෙයක් නෑ.. මගේ ජීවිතේ තියෙන්නේ මං මනුස්සයෙක් නිසා ලැබිච්ච දේවල් විතරයි.. හා මං මගේ ජීවිතේ හදාගත්ත දේවල් විතරයි.. ඔය කියන විදිහට ශ්‍රී  ලාංකික සිංහල බෞද්ධයෙක් වීම පට්ට Luck එකක්.. එත් මේ රටේ "ලාංකික සිංහල බෞද්ධ" මිනිස්සු කී දාහක් වේල් තුන කන්න නැතුව දුක් විදිනවද?? කෝ ඔය කියන "ලාංකික සිංහල බෞද්ධ සතුට" ?? අපි හැමොම මිනිස්සු.. අයියගේ කතාවනම් මාර ලස්සනයි, ලොකු ලොකු වචන ගොඩායි..
ඒත් කිසිම තෙරුමක් ඒ වචන වල නැති එක ගැන මට දුකයි.."

මම - "මනුස්සයෙක් තමන්ගෙ අම්ම තුන් වෙනි පන්තියෙ කුලී වැඩ කරන කෙනෙක් උනත් තමන්ගෙ අම්ම ගැන ගොඩක් ආඩම්බරයි ඒ මනුස්සය ඉංජිනේරුවෙක් උනත්. ඒත් මේ සමාජෙ ඉන්නව තමන්ගෙ මවුන් ගැන එහෙම ආඩම්බරයක් නැති.. ඒ අය ගැන මටත් ඇත්තටම දුකයි... එහෙම අයට තමයි තමන්ගෙ මවුන් පවා අමතක වෙන්නෙත්!!

"මනුස්සයෙක් බෞද්ධයෙක් නෙමෙයි කියන්නෙ, ඒ මිනිහා මොඩයෙක් කියන එක නෙමෙයි"කියන එකෙන් මිනිස්සු මෝඩයො වෙනව කියල මම කොහෙවත් කියලත් නෑ කියන්නෙත් නෑ.. ඒත් ආගමකට විතරක් සීමා නොවිච්ච විද්‍යාවක් වෙච්ච මේ බුද්ධ ධර්මය තරම් යතාර්ථවාදී සත්‍ය කතා කරන ආගමක් වෙන නැතිම තරම්. ආගම අනුගමනය නොකර ඒ ඇත්ත තේරුම් නොගත්ත "නමට බෞද්ධ" අයට නම් මේ කතාව නිකම් පුස් දෙයක් වගේ තමයි නංගො.. 

"සිංහල වෙන්න කතා කරන්න සිංහල භාශාවක් තිබුන නිසා" කිවුව මිසක සිංහල නොතිබුනා නම් ඔයා වෙන භාෂාවක් කතා කරයි තමයි. ඒක එහෙම නෑ කියන්නෙ නෑ නෙ මම..ආඩම්බර වෙන්න කිවුවෙ ඔයා ඔය කතා කරන සිංහල භාෂාව ක්‍රිස්තු පූර්ව යුගයටත් වඩා පරණ ඉතිහාසයක් තියෙන, ලියන්න කියන්න දෙකටම භාවිතා කරන්න පුලුවන් ඉතිහාසයක් තියෙන නිසයි. මොකද ක්‍රිස්තු පූර්ව යුග වල බිහිවෙච්ච සමහර භාෂා වල අක්ෂර හෝඩියක් නෑ.. මම ආඩම්බර වෙන්න ඕන ඇයි කියල පැහැදිලි කරා විතරයි.. ආඩම්බර වෙන හෝ නොවෙන එක ඔයාගෙ වැඩක් නංගො... 

ඔයා දන්නවද නංගො ඇයි ඔයා මනුස්සයෙක් වෙලා ඉපදුනේ කියල??? ඇත්තම කියන්නකො බලන්න... 

"මන් ලංකවේ ඉපදුනේ නැත්තන් වෙන රටක ඉපදෙයි.. ලංකාවේ ඉපදුනා කියන එක ඔච්චර ආඩම්බර වෙන්න කාරණයක් නෙමේ.." ඔයා ලංකාවෙ ඉපදුනේ නැත්තම් වෙන රටක ඉපදෙන්නෙ නෑ කියල මම කිවුවෙ නෑ නංගො... ඔව් ඔව්.. මේ යන විදියට මට දැන් නම් හිතෙනව.. ඔයාට ලංකාවෙ ඉපදිච්ච එක ආඩම්බරයක් නෙමෙයි කියල... ලංකාවෙ නෙමෙයි මොන රටේ ඉපදුනක් ඔයාට ඒක ආඩම්බරයක් නෙමෙයි.. සමහර විට.... 

"මේ රටේ "ලාංකික සිංහල බෞද්ධ" මිනිස්සු කී දාහක් වේල් තුන කන්න නැතුව දුක් විදිනවද??" ඔයා හිතනවද නංගො ලාංකික සිංහල බෞද්ධ උන නිසයි එයාලට එහෙම උනේ කියල?

"ලොකු ලොකු වචන ගොඩායි.." මේ කතාවෙ ලොකු ලොකු වචන දකිනව නම් ඒක නංගිගෙ භාෂාව ගැන තියෙන දැනුමෙ ප්‍රශ්නයක් නංගො... මගෙ කතාව සම්පූර්ණ සරල සිංහල.. ලොකු ලොකු වචන කියල නංගි මේව දකිනව නම් ඇත්තටම නංගි සිංහල භාෂාව කතා කරන එක ගැන ආඩම්බර නෙමෙයි දුක් වෙන්න ඕන තමයි... එතෙනදි මේ භාෂාව ගැන මෙහෙම නම් බොහෝ දුරට වෙනස් භාෂාවක් උනත් එමම වෙන්න ඉඩ තියෙනව නංගි ට... "

ඇය - "ඔයා "ශ්‍රී ලාංකික සිංහල බෞද්ධයෙක්" නිසා ඔහොම කතා කරයි.. වෙන ආගමක වුනා නම් එහෙම කතා කියයි.. විහිලුවක් නේද?"

මම - "අනිත් ඒවට උත්තර නෑ කියන්නෙ මම කියපුව හරි කියල පිලිගත්ත කියන එකද නංගො?

ඒක ඔයාට විහිලුවක් උනාට මම නම් හිතන්නෙ නෑ බහුතර අනෙක් අයට විහිලුවක් කියල.. මොකද වෙන ඕනම රටක් ජාතියක් තම තමන්ගෙ රට ජාතිය ගැන ආඩම්බරයි තමන් වදාපු මවුන් සේම... එහෙම නැති නිසයි නංගිට මේක විහිලුවක් වගේ පේන්නෙ.... පොඩ්ඩක් කල්පනා කරල බැලුවොත් හොඳයි නේද නංගො?"

ඇය - "ඔයාට මට වගේම මේ ලොකේ ඉන්න හැමොටම තමන්ගේ ආගම වටිනවා.. මන් බුදු හාමුදුරුවන්ට වගේම, ජේසුටත් ආදරෙයි..මන් ආස නැ.. කිසිම මිනිහෙක්ව පහත් කරලා කතා කරනවට, මන් ඔනෙ තරම් දැකලා තියෙනවා ඔයාලා වගෙ මිනිස්සු ශරෙ කරන දෙවල්.. ඔයාලා තමයි ජාතිවාදය අවුස්සන්නෙ.. මහා ලොකු සිංහලයො..
උත්තර තියෙනවා අයියෙ.. ඔයාලා වගේ මිනිස්සුත් එක්ක කතා කරලා වැඩක් නැ..
" 'Never argue with an idiot. They will only bring you down to their level and beat you with experience.'" 
so no point of arguing with you.. thank you for the conversation.."

මම - "ඔව්. කාටත් තමගෙ ආගම වටිනව තමයි. බලන්න මම කියල තියෙනව ද උබලට උබලගෙ ආගම වටින්නෙ නෑ කියල කාටවත්.... බෞද්ධයො කියනව එයාලගෙ ආගම ගැන එයාල ආඩම්බරයි කියල, ඒ අතරම ක්‍රිස්තියානි ධර්මය අදහන අය කියනව එයාල එයාලගෙ ආගම ගැන ආඩම්බරයි කියල... ඒකෙ ගම්‍ය වෙන්නෑ ක්‍රිස්තියානිනි ආගම අදහන අය බෞද්ධයින්ව පහත් කරල කතා කලා කියල වත් බෞද්ධයින් ක්‍රිස්තියානි ආගමිකයින්ව පහත් කලා කියලවත්... එතන ප්‍රශ්නෙ තියෙන්නෙ නංගි දාගෙන ඉන්න කණ්නාඩියෙ, දකින විදියෙ ප්‍රශ්නයක්.

පුංචි නිවැරදි කිරීමක්. බුදුහාමුදුරුවො කවමදාවත් දේශනා කරල නෑ එතුමන්ට ආදරේ කරන්න කියල. එතුමන් කියල තියෙන්නෙ තමන් මේ දේශනා කරන යතාර්ථය අවබෝධ කරගන්න කියල.... ආදරෙයි කියල කියපු වචනෙන්ම තේරෙනව නංගො ඔයා මේ ප්‍රශ්නෙ දිහා බලන අමුතු කණ්නාඩිය ගැන.  
බුද්ධ ධර්මය ශාස්තෲන් වහන්සේට ආදරේ කිරීම ධර්මය කියල උගන්වන ආගමක් නෙමෙයි නංගො... ආදරේ කියල වචනයක් නෑ ධර්මයෙ. ඊට වඩා උතුම් වචනයක් තියෙනව මෛත්‍රිය පතුරවන්න කියල. මොකද ආදරේ කියන්නෙ ඇලීමක්. බුදුදහම ඇලීම අනුමත කරන්නෙ නෑ.. මම දන්නෙ නෑ නංගිගෙ අම්මයි තාත්තයි බෞද්ධ උන නිසාවත් නංගි බුද්ධ දේශනාව හරියට ඉගෙනගන තියෙනව ද කියල....

ජාතිවාදයයි ජාත්‍යාලයයි කියන්නෙ කතා දෙකක්... නංගිට මොනව නැතත් ඒ දෙක නම් හොඳටෝම පැටලිලා නංගො...

සමහර දේවල් තියෙනව, ටිකින් ටික තේරුම් ගනිද්දි ඒක තේරුම් ගන්න බැරි වෙන තරමට සංකීර්ණ වෙනව කියල දැනුනම තමන්ගෙ මනසට තේරුම්ගන්න බෑ කියල දැනුනම ඒක තේරුම් ගන්න දරන උත්සහය අත ඇරල ඒකට මොකක් හරි විකල්ප යොදන අවස්ථා ඒ දේ අත හරින්න... ඒත් ඒකෙන් අදහස් වෙන්නෙ නෑ ඒක හැමෝටම තේරුම්ගන්න බෑ කියන එක... " 'Never argue with an idiot. They will only bring you down to their level and beat you with experience.'"  

නංගි ශ්‍රී ලාංකික සිංහල බෞද්ධ වීම ගැන ආඩම්බර නෑලු. ඒත් වෙන ජාතීන් ඒ තම තමන්ගෙ ජාතීන් ආගම් ගැන ආඩම්බර වෙන බව පිලිගන්නව. ඒක විහිලුවක් ලු... විහිලුවට උනත් පිලිගන්න වෙනව නංගො එහෙනම් ඒ ජාතීනුත් ඒ ආගමිකයිනුත් මම වගේම අන්තවාදීන් කියල නංගි ඔය කියන විදියට.... "

මා ජාතිවාදියෙක් ද? මගේ කතාවෙ අඩුපාඩු පහදල දෙන්න පුලුවන් ද? මේ කියන විදියට මම IDIOT ද?? :-D