javascript:void(0)

Tuesday, April 15, 2014

..වයසට යන අවුරුදු..

..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වෙලා.... අවුරුද්දත් ගෙවිල ගියා... කාලය ගෙවිල යන ඉක්මන... නේද?

               හැම පාරම අවුරුද්දත් එක්ක ගොඩක් දේවල් වෙනස් වෙනව.... අපි පුංචියට හිටපු කාලෙට වඩා දැන් අපි අවුරුදු සමරන විදිය වෙනස් වෙලා... අම්ම නම් කියන්නෙ දැන් අපි "ලොකු ලමයි" ලු. අම්මට නම් තවමත් අපි ළමයි... ඒක නම් කවදාවත් වෙනස් වෙන්නෙ නෑ මම දන්නව නෙ.. :) ඉස්සර අපි අවුරුද්ද එක්ක ආසාවෙන් බලන් හිටපු දේවල් නෙමෙයි දැන් බලාපොරොත්තු වෙන්නෙ.... ඉස්සර අවුරුදු එන්නත් කලින් ඉඳන් රතිඥ්ඥ ගේනකම් බලන් උන්නෙ... නැකත ලං වෙනකකොටත් එක එක පත්තු කරලම පෙට්ටි දෙක තුනක් ඉවරයි. ටින් වලට දාල පොල්කටු වලට දාල ඒව පත්තු කරල එක එක විදියෙ අත්හදාබැලීම් කලා. ඒත් දැන් ඒ ආසාව නෑ....

ඒත් ඉතින් මම තවම ගෙදර පොඩි එකා නෙ... ඒ නිසා රතිඥ්ඥා නම් ගේනවමයි...  :) 

      හැමදාමත් ඉස්සර වගේ පුංචි විදියට පුංචි සිතුවිලිත් එක්ක ඉන්න තිබුන නම් කොයි තරම් හොඳ ද කියලත් හිතෙනව... දුකයි නේද....? අවුරුද්දට හම්බ වෙන පුංචි සරම් කොටේකුත් ඇඳගෙන වත්ත පහල දුවන්න, රතිඥ්ඥා පත්තු කරන්න.. එහෙම ඇඳගෙන නෑදෑ ගෙවල් වල යන්න කොයි තරම් ආසාවක් තිබුන ද..? තාමත් ඒ ඇඳුම් ඇඳගෙන නෑදෑ ගෙවල් වල යන්න තිබුන ආසාව නම් තියෙනව..ඒත් ඉස්සරට වඩා වෙනස්. ඉස්සර නම් ඉතින් ඒකෙ අමුතුම සතුටක් නිසයි එහෙම කලේ. ඒත් දැන් ඒක ඇඳගෙන ලස්සන පෙන්නන්නයි එහෙම කරන්නෙ.. ඒ සිතිවිල්ල පවා කොයි තරම් වෙනස් වෙලා ද?
        තාත්තයි අම්මයි රණ්ඩු වෙලා නැකතට කිරිබත් වත් කන්න නැතිව අවුරුදු ගෙවිච්ච අඳුරු මතකත් නැතිවාම නෙමෙයි. මට හොඳට මතකයි තාත්ත අවුරුදු දවසට කලින් දවසෙ කොහෙද ගිහින් හොඳටම බීල ඇවිත් අම්ම එක්ක රණ්ඩු වෙලා උදේ වෙනකම් ඇඳේ වමන දාපු දවස. මට ඒ අවුරුද්දෙ රතිඥ්ඥාවත් ගෙනත් තිබුනෙ නෑ. අම්ම වත්ත පහලට යන පඩිපෙල උඩ ඉඳගෙන තාත්ත එක්ක තරහට වීදුරුවකට අරක්කු දාගෙන බිබී හිටිය. තාත්තට එතකොටත් සිහියක් නෑ, සාලෙට වෙලා ඉඳගෙන හිටිය. ඒ කවුරුවත් දැක්කෙ නෑ එවෙලෙ අනිත් හැම ගෙදරකම නැකතට කිරිබත් කනකොට පුංචි මම හිත ගල් කරගෙන වත්තට වෙලා මැරෙන්න තරම් දුකින් වෙච්ච දේ ගැන හිත හිත ඇවිද ඇවිද හිටපු විදිය අහස දිහා බලන්.. :(  මාව දැකල ද කොහෙද සුදු මාම වැට ළඟට ඇවිත් රතිඥ්ඥා පෙට්ටියක් ගෙනත් දීල ගියා මගෙ මූණ දිහා බලල. විස්වාස කරන්න රතිඥ්ඥා වලට ඒ තරම් ආස කරපු මම ඒ රතිඥ්ඥා පත්තු කරනව තියා ඒක කඩන්නවත් මගෙ හිතේ තිබුනෙ නෑ.. ඒ පෙට්ටියම මම ඊට පස්සෙ දවසක මගෙ යාලුවෙක්ට දුන්න... අපේ අම්මල කොයි තරම් මට ආදරේ උනත් මගේ හිතේ සංවේදීබව තේරුම්ගන්න පුලුවන් උනේ නෑ මම සෑහෙන වයසකට එනකම්ම... තාත්ත තමයි ඒක ටිකක්වත් දැනන් උන්නෙ.. ඒත් හරියටම නෙමෙයි... අම්මෝ, ඒ අවුරුද්දට වඩා නම් ඊට කලින් නෑ ඒ තරම්ම නැතත් ඊට පස්සෙ ලබපු අවුරුදු නම් හොඳයි.
      මේ අවුරුද්ද නම් වැඩිහිටි කෙනෙක් විදියට මට ගොඩක් සරුයි. මොකද ආපහු හැරිල බලල හරිගස්සගන්න සතුටු වෙන්න දේවල් ගොඩක් තියෙනව මගෙ ජීවිතේ.

                          ඒත්...
          ඒ සතුටට වඩා මොකක්දෝ හැංගිච්ච ලොකූ දුකක් තියෙනව හිතේ.. ඒ තමයි "අපි වයසට ගිහිල්ල" කියන දේ.. ඒ අතරෙ අම්ම තාත්ත එක්ක හුරතල් වෙවී ඉන්න පුලුවන් කාලෙත් ටික ටික අඩු වෙනව නේද කියල දැනෙනකොට ඊටත් වඩා දුකක් දැනෙනව... ඒත් අඬන්න ද හිනා වෙන්න ද සතුටු වෙන්න ද කියල හිතාගන්න බෑ.. ඒත් අපි ඒ යථාර්තයට මූණ දෙන්න ඕන නේද? බුදු හාමුදුරුවො කිවුව වෙනස් වීම මේක තමයි. අපිට හැමදාමත් ඒක තේරෙනව. ඒත් ඒක සිහි වෙනකොට දැනෙන දුක නිසා අපි ඒක තේරුම් අරන් විතරක් මඟ හරිනව, ඒ මාර්ගය වෙනස් කරල අපි යා යුතු මාර්ගයට යන්න උත්සහ නොකරම... එහෙම කරන්නෙ ඒක ඒ තරම් කරන්න පහසු දෙයක් නෙමෙයි නිසා වෙන්න ඇති. 

               ඒ උත්සහය නොකලත් අපි ඒ තේරුම් ගන්න දේ තුළින් අපි කොහොම හරි යථාර්තයට මුහුණ දිය යුතුයි. මම හිතන්නෙ ඒකයි වෙන්න ඕන... ඒ තරම් හිත ශක්තිමත් නැති අය තමයි ඔය වගේ වෙලාවල් වලට අඬන්නෙ... ඒත් ඇඬුව කියල ඒක වෙනස් වෙන දෙයක් නෙමෙයි.. වෙනස් වෙන හැම දේම වෙනස් වෙනවමයි.  ඒක තමයි සත්‍ය...

               මගෙ බ්ලොග් එක කියවන කමෙන්ට් කරන හැමෝගෙම හිත් වල ඒ ශක්තිය තියෙනව. ඒක මම හොඳටම දන්නව... මොකද මගෙ බ්ලොග් එක හැමෝම කියවන්නෙ කමෙන්ට් කරන්නෙ නෑ.. මොකද මගෙ බ්ලොග් එක මවන සුරංගනා ලෝක, බඩ පැලෙනකම් හිනා යන විහිලු නෑ.. ඒ නිසා හැමෝම මගෙ බ්ලොග් එක කියවන්නෙත් නෑ... මගෙ එක පෝස්ට් එකක හරි එහෙම දේවල් තියෙනව නම්. ඒව කියවපු හැම කෙනෙක්ම හොඳින්ම දන්නව, ඒ හැම දෙයක්ම අපේ සැබෑ ලෝකෙ යථාර්තය එක්ක සම්බන්ධයි කියල. ඒ හැම දේකම ජීවිතේට ගතයුත්තක් තියෙනව කියල...



                 හුඟ කාලෙකට පස්සෙ අද මේ ලියපු පෝස්ටුව විශේෂයි. ඒ ඇයි කියන්න නම් මටත් හරියටම තේරෙන්නෙ නෑ.. ඒත් මේ තරම් දුර මගෙ බ්ලොග් එකත් එක්ක ආපු මගෙ බ්ලොග් එක කියවපු කමෙන්ට් කරපු වගේම කියවල නැති කමෙන්ට් කරල නැති හැමෝටමත් මගේ හෘදයාංගම ස්තූතිය පුද කරනව. ඒ වගේම සයිබර් ලෝක වාසී සෑම සියලු දෙයානටම මේ ලැබුවා වූ අලුත් අවුරුද්ද සාමය සතුට සෞභාග්‍ය සපිරි සුභ නව වසරක් වේවා කියල ප්‍රාර්ථනා කරනව.. ඒක මේ අවුරුද්දට විතරක් සීමා වෙච්ච දෙයක් නෙමෙයි.. ඔයාලගෙ ජීවිත කාලෙම එහෙම වෙන්න කියලයි මගෙ නම් ප්‍රාර්ථනාව...

10 comments:

  1. ඔය ගටිස්සිත් ලොකු වෙලා එහෙනම් .. මමනම් තාම පොඩි එකානේ .. :D .. පොඩි කාලේදී ඉක්මනට ලොකු වෙනකන් හිටියට ලොකු උනාම තමයි තේරෙන්නේ .. :D ..

    හැපී නිව් යර් ..

    ReplyDelete
  2. අපිට පොඩි කාලේ තිබ්බ තරම් අවුරුදු ගැන ඕන කමක් කාලය එකක් නැති වෙනවා.. ඒක තමා හැටි..

    ReplyDelete
  3. අවුරුදු බලන්න 20 එන්න

    ReplyDelete
  4. මටත් හිතිලා තියෙනවා පොඩි කාලෙම ඉන්න තිබුනානම් කොච්චර දෙයක් ද කියල. මොකද ජීවිත වල වෙන සමහර වෙනස්කම් එක්ක දැන් නම් අපේ ගෙදර අවුරුදු කියල කිසි වෙනසක් නෑ.

    ReplyDelete
  5. අැත්තටම අපි පොඩි දවස් වල වින්ද අවුරුදු සිරිය ඒ සතුට දැං ඉන්න පොඩි ඈයො දන්නෙත් නෑ... උංට විදින්න වෙන්නෙත් නෑ... උවමනාවකුත් නෑත....
    හොදම සිද්දිය තමා මේ ළගදි පොඩි එකෙක්ගෙන් ඇහුවාම උණ වෙඩිල්ලක් හදමුද ඇහුවම
    ඒ මොකද්ද මාමෙ කියල අහපු එකනෙ..

    අදනෙ මෙහෙ ආවෙ එන්නංකො ආයෙ මේ අහ...
    ජයවේවා

    ReplyDelete
  6. ගොඩාක් ඈතට ගියා....හරිම "මිහිරි සාංකාවක්" දැණුනා.

    ReplyDelete
  7. ඔය විදියට හිතෙනවා මටත්.. ඔයාගේ බ්ලොග් එක මාත් අද වෙන්න ඕනේ කියවන්නේ.. ලියන්න දිගටම මාත් එන්නම් ජිවිතේ යතාර්ථය මිස වෙන දෙයක් ලියන්න එපා ,ඔයා ලියන විදිය්ට මන් කැමති

    ReplyDelete
  8. වයසත් එක්ක ලෝකෙ , පරිසරය, අප අවට ඉන්න මිනිස්සු හැමදේම වෙනස් වෙනව ... කතාව ලස්සනයි .අද තමයි පලවෙනි වතාවට මේ බ්ලොග් එක කියෙව්වෙ . ............

    ReplyDelete
  9. ක්‍රිෂාන්ත හේවාගීගනMay 9, 2014 at 3:38 AM

    අලුත් අවුරුද්දත් පහුවෙලා හුග කාලෙකට පස්සේ මම ඔබගේ ලිපිය කියෙවුවෙ ,හුගක් හිත් ගන්නා සුළු විදියට ලියලා ,,සුබ පතනවා

    ReplyDelete

මම ලියන ඒව ගැන අදහසක් තියෙනව නම් ලියල යන්න... හැබැයි එහෙම නොකල කියල මම තරහ වෙන්නෙත් නෑ... :) කරදර කලේ නැතත් හිතේ කහටක් නැතුව එක කොමෙන්ටුවක් වත් දාල යන්න පුලුවන් නම් මට ඔයාලගෙ ඒ එක කොමෙන්ටුවක් රටකට රාජ්ජෙකට වඩා වටිනව.... ....