javascript:void(0)

Saturday, August 27, 2011

කෙටවලදී... ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."


              එක්දහස් නවසිය බර ගණන් වල නොවුනත් එදා නොවැම්බර් නව වෙනිද.මම උදේ නැගිටිනකොටත් මොකක්දෝ හින්ද හරිම කාන්සියක් දැනුන. කොණ්ඩෙ කපාගන්නවත් රැවුල කපාගන්නවත් මයෙ ඒ තරම් හිතක් තිබුනෙ නෑ... උදෙන්ම ඇඳගෙන ලෑස්ති වෙලා හිටියත් (ඉස්කෝලෙ යන්න) බත් ටික කාල ඉවර වෙනකොට බස් එකට වෙලාවත් හරි. ටක් ගාල එක බස් එකක නැගල හන්දියට ඇවිත් සුපුරුදු "පාසල් සේවය" බස් එක එනතුරු තුෂාරත් මමත් ලහිරුත් බලාගෙන හිටිය.. උදේ පාන්දරම අතුරුපස ටිකකුත් තියල හිටිය නිසා දාඩියත් ටිකක් දාලයි තිබුනෙ. 

               නැවතත් සුපුරුදු බස් රථයටම නැග්ගත් ඒකෙත් මොකක්දෝ අමුත්තක් තිබුණ.  එදා වගේම මාත් එක්ක ෆිට් එකේ හිටපු මගේ ප්‍රදේශයේ ප්‍රධාන බාලිකා විද්‍යාලයකට යන නංගිල සහ මගෙ යාලුවො ටික එක්ක කතා කරන්න මොකක්දෝ අමුත්තක් දැනුන... (ඒ පාසලේ නම කියන එක හරි නැහැනෙ නේද..) වෙනදට නැති පාළු කාන්සි ගතියක් හිතට දැනුන.. හිතනව මේක කියවන කෙනෙක්ටත් මේ මොහොත වෙද්දි ඒ මගේ හැඟීමම ප්‍රතිජනිත කරවන්න මට පුලුවන් උනා කියල.... මන්ද
, ඒක ඉතින් දන්නෙ කියවන ඔයාලනෙ...
         
               ඒ කාන්සිය මකා ගන්න සුපුරුදු පරිදි " බස් ඒකේ කෑ ගහන" පවනිගෙ චරිතේ නැවත හදා ගන්න උත්සාහ කලත් ඒකත් ඒ තරම්ම සාර්ථක උනේ නෑ..!!  ඒත් බස් එකේ යන කට්ටියට නම් මගේ කටහඬින්ම ආයෙ අලුත්ම නැවුම්ම බවක් දැනෙන්න ඇති (ඇති කිවුවට මම ඉන්න දවසට
school bus එකම හරිම Active, මාර fun කියල නගරෙ ප්‍රධාන බාලිකා පාසල් තුන වගේම අනිත් පාසල් වල කොල්ලො කෙල්ලො ටිකත් මගෙ මූණටම කියල තියෙනව)...

              
කොහොම හරි ඉස්කෝලෙ ලඟදි බස් එකෙන් බහින්න පවනි මට ඉඩ දුන්නෙ නෑ.. එහෙමම ඇවිත් (මගේ බල ප්‍රදේශයේ) ටවුන් එකේ බස් ස්ටෑන්ඩ් එකෙන් බහිනකොටම තමයි මට ආයෙ චතුරව හම්බ උනේ.. මම කෙටවල යන්න තීරණය කලා... හැබැයි නාන්න නම් නෙමෙයි....

            
ශ්‍රේෂ්ට ඉර එළියේ පහස ලබමින් මහපොළවට දාඩිය බිංදු සිය කැමැත්තෙන්ම පිරිනමමින් මමයි චතුරයි පයින්ම  කෙටවලට ආව.. ඉර එළියෙන් මුවා වෙච්ච පඳුරක් යට ගලක් උඩ වාඩි වෙලා ගලාගෙන යන වතුර පාර දිහා බලාගෙන ඉන්නකොට ඇගට පතට වගේම ඇස් දෙකටත් අමුතුම සනීපයක් දැනුන.. අපේ ජීවිතෙත් මේ වගේද මන්ද කියල මට හිතුන... දීර්ඝ විඩාබර ගමනක් ගෙවාගෙන අපි එන්නෙ කොයි තරම් සොඳුරු තැනකටද....? එතකොට අපේ නාට්‍ය කලාවෙ ශ්‍රේෂ්ටතමයෙක්  වෙච්ච මහාචාර්‍ය එදිරිවීර සරච්චන්ද්‍ර සර් එයාගෙ පොතක කියල තිබුනු කතාවක් මට මතක් උනා," මෙලොව ඇත්තේ යාම් හා ඊම් පමණි....."  මට ඒක හරියටම මතක නෑ.. ඒත් අපි යා යුතු සුන්දර තැන මෙතන නෙමෙයි කියල පවනි හිමි හිමීට මුමුණනව මට ඇහුන. එක අතකට ඒක ඇත්ත වෙන්නත් ඇති. ලා දුඹුරු පාට වෙච්ච සැඩ වතුර පහර ඒ විදියටම ගලාගෙන ගියා...ඒ ගියා වගේ මටත් ඒ වතුරෙ ගලාගෙන යන්න තිබුන නම් කියල මට හිතුන. ඒත් ඒ විදියට මට ගලාගෙන යන්න බැහැනෙ.. ඒකත් එක ජීවිත කතාවක්... අපි ඒ කතාවට අදාල නැහැ මම හිතන්නෙ...  ඒ අතරතුර මේ ලියන වාක්‍යයෙ "අ" යන්න ගාව ඉඳල තවත් පුංචි කලු කූඹියෙක් එයාගෙ කතාව ලියනව.. එයා ඒ වෙලාවෙ (හිතන්න පුලුවන් උනා නම්) මොනව හිතන්න ඇතිද?
 
             එයාගෙ ජීවිත කතාවත් විශ්ව ගම්මානයක් වෙච්ච මේ පුංචි සයිබර් අවකාශෙ කවද හරි ලියවෙයි කියල? ඒත් ඒ වෙනකොට එයා ජීවතුන් අතර ඉන්න එකක් නෑ කියල..? ආයෙමත් පෙණ බුබුළු පිඹ පිඹ වතුර පාර කැරකි කැරකි වේගෙන් ගලාගෙන යනව... මාවත් ඒ එක්ක කැරකෙනව වගේ දැනුන මම වෙන පැත්තක් බලාගත්ත....


සැළකිය යුතුයි - වතුර පහර වේගයෙන් ගලාගෙන ගිය "කෙටවල ඇනිකට්" එක සහ කලු කූඹියා හැර අනෙක් සියලු නම් ගම් මනඃකල්පිතයි...

4 comments:

  1. හ්ම්ම්..සුන්දර සිහිවටන ගොඩක් තියපු කෙටවලත් මතක් කරලා තියෙන්නෙ...ආයෙත් දැක්කම සතුටක් ඇතිවුනා...දුම්රියෙ යනකොට කෙටවල දකින වාරයක් පාසා ඒ සුන්දර පාසල් කාලයෙ ආයෙ ආයෙත් අලුත් වෙනවා..ඒත් කාලෙකින් ඒ සතුට විඳගන්න බැරිවුන අඩුපාඩුව අද සම්පූර්ණ වුනා.

    ReplyDelete
  2. ලකී - ඒක ඇත්ත සහෝදරය....
    ඒත් ඒ කාලෙ එතන තිබුණු පරිසරය, එතන අපි කරපු කියපු ගොඩක් දේවල් දැන් එතන කරන්න බැහැ.... දන්නවනෙ ඉතින් දැන් එතනට නිතරම වගේ "මාමල" එනවනෙ.... ගමේ මිනිස්සු ඉස්සර වගේ නැහැ... දැන් එතනට යන මිනිස්සුත් ඉස්සර වගේ නැහැ.... අපි නම් හිමීට ගිහිල්ල හීනියට ෆන් එකක් අරන් ආවට දැන් යන උන්ට එහෙම ෆුන් ගන්න දන්නෙ නෑ, සවුත්තු වෙනව... උන්ගෙ සවුත්තු වැඩ නිසා දැන් මේකත් කොල්ලන්ට ටිකක් "අවධානම්" කලාපයක්....
    මට නම් "කෙටවල" තවමත් මතක කෝටියක සිහිවටනයක්...
    :)

    ReplyDelete
  3. මම දැකලා නැහැ මේ එතන ෆොටෝ එකක්මද?

    ReplyDelete
  4. ඔව්... එතන තමයි... ඒ උනාට ටිකක් පැත්තට වෙන්න.. එර එලියෙන් චුට්ටක් බේරෙන්නත් එපායැ......

    ReplyDelete

මම ලියන ඒව ගැන අදහසක් තියෙනව නම් ලියල යන්න... හැබැයි එහෙම නොකල කියල මම තරහ වෙන්නෙත් නෑ... :) කරදර කලේ නැතත් හිතේ කහටක් නැතුව එක කොමෙන්ටුවක් වත් දාල යන්න පුලුවන් නම් මට ඔයාලගෙ ඒ එක කොමෙන්ටුවක් රටකට රාජ්ජෙකට වඩා වටිනව.... ....