javascript:void(0)

Wednesday, June 11, 2014

..මගේ ආදර කතාව - 2..

..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."


ආදර කතාවෙ පළවෙනි කොටස ---> මෙතනින්

මගේ ආදරවන්තියව මට හමු වීම
               මම ඒ වෙනකොට මගෙ ජීවිතේ ගොඩක් දේවල් නැති කරගෙන තිබුනෙ... සමහර දේවල් මගෙ කැමැත්තෙන්ම අත ඇරිය. මගෙ යාලුවො මට කතා කලේ ෆේස්බුකා කියල... මට අත අරින්න බෑ කිවුව ෆේස්බුක්. මම ෆේස්බුක් අත ඇරිය. ෆෝන් එක අත අරින්න බෑ කිවුව, ෆෝන් එකත් විකුණල දැම්ම.. කොණ්ඩෙට තියෙන ආසාව අත අරින්න බෑ කිවුව... තට්ටෙම ගෑව.. ඒ විතරක් නෙමෙයි මගෙ කායික මානසික සෞඛ්‍යයයත් මම බොහොම දරුණු විදියට නැති කරගෙන තිබුන.. මේ ඒ කාලය -->  විදවීමයි වින්දනයයි එකතු වෙන තිත..

              ආයෙමත්.... මට ගෙදර කරන්න තරම් විශේෂ වැඩක් නොතිබුන අතර වර්ක්ශොප් එකේ වැඩට ගියා. ඒ අතර මම අපේ ප්‍රදේශයේ ජනප්‍රිය ආයතනයක තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමාවක් හදාරන්න ගියා. ඒ කාලයේ පංති එන යහලුවන් එක්ක සම්බන්ධ වෙන්න ජංගම දුරකතනය සහ ෆේස්බුක් නැවත භාවිතය පටන් ගත්ත.

      ඔන්න ඔය කාලෙ මගෙ නෑදෑ වෙන අක්ක කෙනෙක් එයාගෙ දුව ගැන ලැබුන තොරතුරක් මත මගෙන් උදවුවක් ඉල්ලුව. එයාගෙ දුව එයාට හොරෙන් ෆේස්බුක් එකවුන්ට් එකක් හදාගෙන ද කියල බලන්නයි කියල. ඔන්න ඉතින් මම හොයන්න පටන් ගත්ත. එයාගෙ නම ශලිනි. මම කොයි තරම් හෙවුවත් එහෙම එකක් හම්බ උනේ නෑ, ඒ කිවුවෙ අර මගෙ නංගි කෙනාගෙ කියල සැක කල හැකි එකවුන්ට් එකක්. ඒත් මට දෙයක් හම්බ උනා!! ඒ ශලිනි කියල ෆේස්බුක් එකවුන්ට් එකක් , මගෙ ලිස්ට් එකේ යාලුවො කීපදෙනෙකුත් ඒ එකවුන්ට් එකේ හිටිය. මේ අර නංගිද කියල පොඩි සැකයක් තිබුන නිසා කෝකටත් කියල රික්වෙස්ට් එකක් දැම්ම. ඔන්න මගෙ ආදර කතාවෙ ආරම්භය... මීට වසර 3,4කට පමණ පෙර ශලිනි නම් අන්වර්ථ නාමයකින් මුහුණු පොතේ සැඟවී සිටි මගේ ආදරවන්තිය හමු වීම. 

මුලදි මම ඈ එක්ක මැසේජ් කලේ ඇගේ පිංතූර වලට කමෙන්ට් කලේ මේ අර මට හොයන්න කියපු නංගි ද කියල පුංචි සැකයකුත් එක්ක. ඒත් පසුකාලීනව ඒ සැකය දුරු වෙලා මේ කියපු ශලිනි මගෙ හොඳම යාලුවෙක් උනා. මේ කාලය ඇතුලත මම ගොඩක් දේවල් මගෙ ආදරවන්තිය පිළිබඳව දැනගත්ත. ඈ ගැන ගොඩක් අධ්‍යයනය කලා.


මීළඟට ඈ පිළිබඳව මගේ අධ්‍යයනය, ඇගේ විස්තර, ඇගේ අතීතය.... මීළඟ පෝස්ටුවෙන් බලාපොරොත්තු වන්න...

සැ. යු. - මෙම පෝස්ටුව තුළ මෙයට සම්බන්ධ ලින්ක් කීපයක්ම දමා තිබේ.

Tuesday, June 10, 2014

..මගේ ආදර කතාව - 1..

..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

             
                     මගෙ මේ ආදර කතාව පටන් ගන්නෙ  කොයි අවුරුද්දෙ ද කවද ද කියල නම් මම කියන්නෙ නෑ... හැබැයි ඔයාලට ඒක හොයාගන්න පුලුවන් වෙයි... ඒත් මම මේ කියන්න යන ආදර කතාවෙ කිසිම දෙයක් බොරුවක් නෙමෙයි.. ඒක මට දිවුරල කියන්න පුලුවන්...

මගේ මේ පුංචි ආදර කතාව සම්බන්ධව ලියවෙච්ච පෝස්ට් කීපයක් තියෙනව...මේ තියෙන්නෙ ඒවල තියෙන සමහර උපුටාගැනීම් සමඟ ලින්ක්...

"ඒ චරිතය හරි අමුතු විදියට මාව එයාට නතු කරගත්තෙ.... කොයි තරම් ද කියනව නම් දැඩි හිතක් එක්ක දැඩි ප්‍රතිපත්ති තිබුන මාව බලල් පැටියෙක් වගෙ එයා ඔන්ලයින් එන වෙලාවට මාවත් ඌන්ලයින් ගෙන්නව ගන්න සමත් උනා. තවත් පුදුමයක්. මගෙ ෆේස්බුක් යාලුවො හොඳටම දන්නව, මම ෆේස්බුක් දවසෙම ලොග් වෙලා හිටියත් ඔන්ලයින් නම් යන්නෙ නැති විත්තිය."

"ඒ වගේම මේ කෙල්ලත් එක්ක යාලු වෙන කොල්ල කොයි තරම් බුද්ධියෙන් වැඩ කරන කොල්ලෙක් වෙන්න ඕනද මේ කෙල්ලව හසුරවන්න? මම කියන්නෙ හොඳ විදියෙ කොල්ලෙක් ගැන. මොකද බුද්ධිමත් කොල්ලෙක් නම් මම තේරුම් ගත්ත වගේ මෙන්න මේක තේරුම් ගන්නව මේ සිද්ධියෙන්, "මේ ලෝකෙ තමන් ගොඩක්ම ආදරේ කරන තමන්ව චූටි කාලෙ ඉඳල ලොකුමහත් කරල අවුරුදු දහ අටක්ම හොඳින් බලාගත්තු තාත්තට මෙහෙම කරන්න පුලුවන් නම් එයාට වෙන කෙනෙක්ගෙ ආදරයක් වෙනුවෙන්.., ඒ අවුරුදු දෙක තුනක ආදරයක් තියෙන වෙන කෙනාට ඔයිටත් වඩා කොයි තරම් දේවල් කරන්න පුලුවන් වෙයි ද?.. තාත්තට මෙහෙම නම්..?" "

"අපි එහෙම අපේ හිත් රවටගන්නෙ.... අපේම හිත් හදාගන්න නේද කියලත් හිතෙනව... ඒක එහෙම නම්.. තමන්ගෙ හිත රවටගන්න එකෙත් වරදක් නෑ වගෙයි නේද?"

"එයාලටම එයාලව තේරුම්ගන්න බැරි... එයාලටම එයාල ගැන තේරෙනෙ නැති..එයාලටම එයාල බලාපොරොත්තු වෙන්නෙ මොනවද කියල තේරුම් ගන්න බැරි.. කොයි තරම් ඒක කියල දෙන්න හැදුවත් තේරුම්ගන්නෙ නැති අය ගැන(සමහර විට අර කියනවත් වගේ ඉන්න විසේකාර වයස නිසා ටිකක් තේරුම්ගන්න අමාරු කාලෙ නිසා වෙන්නත් ඇති.) එහෙම අය ආදරේ කියන දේ වැරදියට තේරුම්ගන්නව..."

"සමහර විට වෙන යාලුවෙක් එක්ක කතා කර කර සතුටු වෙනකොට තමන්ට ගොඩක් ආදරේ කෙනෙක් ඉන්නව නේද../..ආදරේ කරපු කෙනෙක් හිටිය නේද කියන එකත් අමතක වෙයි.. මොකද ඒක... ආදරේ... ඒක ආදරේම උනා නම් කෙල්ලෙක්ට/ කොල්ලෙක්ට තමන්ගෙ හෘද සාක්ෂියට එකඟව එහෙම දෙයක් කරන්න අමාරුයි.. කොයි තරම් උනත් වෙන කෙනෙක් තමන්ට ලං වෙද්දි තියා ලං වෙන්න හදනව කියල දැනෙනකොටත් ඒ කෙනා ගැන විකර්ෂණයක් ඇති වෙන්නෙ සැබෑ ආදරේ දි විතරමයි....."

මුලින්ම මගෙ කතාවෙ එන චරිත වලට ආදර්ශ නම් දෙන්නම්... ඇත්ත නම් කියන එක හරි නෑ නෙ....

ප්‍රධානම චරිතය - ආදරවන්තිය නයනි
ආදරවන්තියගෙ මව - මැණිකේ
ආදරවන්තියගෙ පියා - සමන්
ආදරවන්තියගෙ සහෝදරයා - විමල්
ආදරවන්තියගෙ යහලු චරිත - කුමුදු, මලිත්, සිතුම්, නිමන්ත, ශ්‍යාමල්, පළිඟු, ශෙහානි

මෙන්න චරිත ගැන විග්‍රහය -
                  මේ කතාවට ආදරවන්තියගෙ මව සම්බන්ධයක් නෑ.. මොකද ඇය මෙතන නෑ..   නයනි චූටි කාලෙ, මයෙ හිතේ පහ හය වසරෙ ඉඳන්ම ඈව බලාගන්නෙ ඇගේ පියා සමන් සහ පියාගේ දයාබර මෑණියන් හා ඇගේ සහෝදරයා විමල් විසින්.. පොඩි කාලෙ ඉඳලම නයනි ට පිරිමි ළමුන් ආශ්‍රයට ඉඩක් දෙන්නෙම නෑ ඇගේ පියාණන් හා සහෝදරය..... ඈව පසුව ඇතුලු කරනව ගැහැණු ළමුන් පමණක් විතරක් ඉන්න පාසලකට හත වසරෙදි පමණ මගෙ මතකයට අනුව නම්..

කොටින්ම සාමාන්‍ය පෙළ හදාරද්දීවත් ඈව අමතර පංති යැවීමක් කරන්නෙ නෑ. මේ අතරතුර ඇගේ සහෝදරය දෙමවුපියන්ගේත් වැඩි කැමැත්තක් නැති උවත් විවාහ වී විදේශගත වෙනව. ඒ සඳහා වියදම් දරන්නේ නයනිගේ පියාණන් විසින්.මේ කාලය වන විට නයනිගේ පියාණන් හට පදිංචි ස්ථානත් කීපවරක්ම මාරු කරන්නත් සිද්ධ වෙනව යම් යම් ආර්ථික ප්‍රශ්න හා වෙනත් ගැටලු නිසාවෙන්..

මීළඟ කොටස ඊළඟ පෝස්ටුවෙන්.. අහම්බයකින් මුහුණුපොත තුළදී නයනි ව හමු වීම....


Tuesday, April 15, 2014

..වයසට යන අවුරුදු..

..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වෙලා.... අවුරුද්දත් ගෙවිල ගියා... කාලය ගෙවිල යන ඉක්මන... නේද?

               හැම පාරම අවුරුද්දත් එක්ක ගොඩක් දේවල් වෙනස් වෙනව.... අපි පුංචියට හිටපු කාලෙට වඩා දැන් අපි අවුරුදු සමරන විදිය වෙනස් වෙලා... අම්ම නම් කියන්නෙ දැන් අපි "ලොකු ලමයි" ලු. අම්මට නම් තවමත් අපි ළමයි... ඒක නම් කවදාවත් වෙනස් වෙන්නෙ නෑ මම දන්නව නෙ.. :) ඉස්සර අපි අවුරුද්ද එක්ක ආසාවෙන් බලන් හිටපු දේවල් නෙමෙයි දැන් බලාපොරොත්තු වෙන්නෙ.... ඉස්සර අවුරුදු එන්නත් කලින් ඉඳන් රතිඥ්ඥ ගේනකම් බලන් උන්නෙ... නැකත ලං වෙනකකොටත් එක එක පත්තු කරලම පෙට්ටි දෙක තුනක් ඉවරයි. ටින් වලට දාල පොල්කටු වලට දාල ඒව පත්තු කරල එක එක විදියෙ අත්හදාබැලීම් කලා. ඒත් දැන් ඒ ආසාව නෑ....

ඒත් ඉතින් මම තවම ගෙදර පොඩි එකා නෙ... ඒ නිසා රතිඥ්ඥා නම් ගේනවමයි...  :) 

      හැමදාමත් ඉස්සර වගේ පුංචි විදියට පුංචි සිතුවිලිත් එක්ක ඉන්න තිබුන නම් කොයි තරම් හොඳ ද කියලත් හිතෙනව... දුකයි නේද....? අවුරුද්දට හම්බ වෙන පුංචි සරම් කොටේකුත් ඇඳගෙන වත්ත පහල දුවන්න, රතිඥ්ඥා පත්තු කරන්න.. එහෙම ඇඳගෙන නෑදෑ ගෙවල් වල යන්න කොයි තරම් ආසාවක් තිබුන ද..? තාමත් ඒ ඇඳුම් ඇඳගෙන නෑදෑ ගෙවල් වල යන්න තිබුන ආසාව නම් තියෙනව..ඒත් ඉස්සරට වඩා වෙනස්. ඉස්සර නම් ඉතින් ඒකෙ අමුතුම සතුටක් නිසයි එහෙම කලේ. ඒත් දැන් ඒක ඇඳගෙන ලස්සන පෙන්නන්නයි එහෙම කරන්නෙ.. ඒ සිතිවිල්ල පවා කොයි තරම් වෙනස් වෙලා ද?
        තාත්තයි අම්මයි රණ්ඩු වෙලා නැකතට කිරිබත් වත් කන්න නැතිව අවුරුදු ගෙවිච්ච අඳුරු මතකත් නැතිවාම නෙමෙයි. මට හොඳට මතකයි තාත්ත අවුරුදු දවසට කලින් දවසෙ කොහෙද ගිහින් හොඳටම බීල ඇවිත් අම්ම එක්ක රණ්ඩු වෙලා උදේ වෙනකම් ඇඳේ වමන දාපු දවස. මට ඒ අවුරුද්දෙ රතිඥ්ඥාවත් ගෙනත් තිබුනෙ නෑ. අම්ම වත්ත පහලට යන පඩිපෙල උඩ ඉඳගෙන තාත්ත එක්ක තරහට වීදුරුවකට අරක්කු දාගෙන බිබී හිටිය. තාත්තට එතකොටත් සිහියක් නෑ, සාලෙට වෙලා ඉඳගෙන හිටිය. ඒ කවුරුවත් දැක්කෙ නෑ එවෙලෙ අනිත් හැම ගෙදරකම නැකතට කිරිබත් කනකොට පුංචි මම හිත ගල් කරගෙන වත්තට වෙලා මැරෙන්න තරම් දුකින් වෙච්ච දේ ගැන හිත හිත ඇවිද ඇවිද හිටපු විදිය අහස දිහා බලන්.. :(  මාව දැකල ද කොහෙද සුදු මාම වැට ළඟට ඇවිත් රතිඥ්ඥා පෙට්ටියක් ගෙනත් දීල ගියා මගෙ මූණ දිහා බලල. විස්වාස කරන්න රතිඥ්ඥා වලට ඒ තරම් ආස කරපු මම ඒ රතිඥ්ඥා පත්තු කරනව තියා ඒක කඩන්නවත් මගෙ හිතේ තිබුනෙ නෑ.. ඒ පෙට්ටියම මම ඊට පස්සෙ දවසක මගෙ යාලුවෙක්ට දුන්න... අපේ අම්මල කොයි තරම් මට ආදරේ උනත් මගේ හිතේ සංවේදීබව තේරුම්ගන්න පුලුවන් උනේ නෑ මම සෑහෙන වයසකට එනකම්ම... තාත්ත තමයි ඒක ටිකක්වත් දැනන් උන්නෙ.. ඒත් හරියටම නෙමෙයි... අම්මෝ, ඒ අවුරුද්දට වඩා නම් ඊට කලින් නෑ ඒ තරම්ම නැතත් ඊට පස්සෙ ලබපු අවුරුදු නම් හොඳයි.
      මේ අවුරුද්ද නම් වැඩිහිටි කෙනෙක් විදියට මට ගොඩක් සරුයි. මොකද ආපහු හැරිල බලල හරිගස්සගන්න සතුටු වෙන්න දේවල් ගොඩක් තියෙනව මගෙ ජීවිතේ.

                          ඒත්...
          ඒ සතුටට වඩා මොකක්දෝ හැංගිච්ච ලොකූ දුකක් තියෙනව හිතේ.. ඒ තමයි "අපි වයසට ගිහිල්ල" කියන දේ.. ඒ අතරෙ අම්ම තාත්ත එක්ක හුරතල් වෙවී ඉන්න පුලුවන් කාලෙත් ටික ටික අඩු වෙනව නේද කියල දැනෙනකොට ඊටත් වඩා දුකක් දැනෙනව... ඒත් අඬන්න ද හිනා වෙන්න ද සතුටු වෙන්න ද කියල හිතාගන්න බෑ.. ඒත් අපි ඒ යථාර්තයට මූණ දෙන්න ඕන නේද? බුදු හාමුදුරුවො කිවුව වෙනස් වීම මේක තමයි. අපිට හැමදාමත් ඒක තේරෙනව. ඒත් ඒක සිහි වෙනකොට දැනෙන දුක නිසා අපි ඒක තේරුම් අරන් විතරක් මඟ හරිනව, ඒ මාර්ගය වෙනස් කරල අපි යා යුතු මාර්ගයට යන්න උත්සහ නොකරම... එහෙම කරන්නෙ ඒක ඒ තරම් කරන්න පහසු දෙයක් නෙමෙයි නිසා වෙන්න ඇති. 

               ඒ උත්සහය නොකලත් අපි ඒ තේරුම් ගන්න දේ තුළින් අපි කොහොම හරි යථාර්තයට මුහුණ දිය යුතුයි. මම හිතන්නෙ ඒකයි වෙන්න ඕන... ඒ තරම් හිත ශක්තිමත් නැති අය තමයි ඔය වගේ වෙලාවල් වලට අඬන්නෙ... ඒත් ඇඬුව කියල ඒක වෙනස් වෙන දෙයක් නෙමෙයි.. වෙනස් වෙන හැම දේම වෙනස් වෙනවමයි.  ඒක තමයි සත්‍ය...

               මගෙ බ්ලොග් එක කියවන කමෙන්ට් කරන හැමෝගෙම හිත් වල ඒ ශක්තිය තියෙනව. ඒක මම හොඳටම දන්නව... මොකද මගෙ බ්ලොග් එක හැමෝම කියවන්නෙ කමෙන්ට් කරන්නෙ නෑ.. මොකද මගෙ බ්ලොග් එක මවන සුරංගනා ලෝක, බඩ පැලෙනකම් හිනා යන විහිලු නෑ.. ඒ නිසා හැමෝම මගෙ බ්ලොග් එක කියවන්නෙත් නෑ... මගෙ එක පෝස්ට් එකක හරි එහෙම දේවල් තියෙනව නම්. ඒව කියවපු හැම කෙනෙක්ම හොඳින්ම දන්නව, ඒ හැම දෙයක්ම අපේ සැබෑ ලෝකෙ යථාර්තය එක්ක සම්බන්ධයි කියල. ඒ හැම දේකම ජීවිතේට ගතයුත්තක් තියෙනව කියල...



                 හුඟ කාලෙකට පස්සෙ අද මේ ලියපු පෝස්ටුව විශේෂයි. ඒ ඇයි කියන්න නම් මටත් හරියටම තේරෙන්නෙ නෑ.. ඒත් මේ තරම් දුර මගෙ බ්ලොග් එකත් එක්ක ආපු මගෙ බ්ලොග් එක කියවපු කමෙන්ට් කරපු වගේම කියවල නැති කමෙන්ට් කරල නැති හැමෝටමත් මගේ හෘදයාංගම ස්තූතිය පුද කරනව. ඒ වගේම සයිබර් ලෝක වාසී සෑම සියලු දෙයානටම මේ ලැබුවා වූ අලුත් අවුරුද්ද සාමය සතුට සෞභාග්‍ය සපිරි සුභ නව වසරක් වේවා කියල ප්‍රාර්ථනා කරනව.. ඒක මේ අවුරුද්දට විතරක් සීමා වෙච්ච දෙයක් නෙමෙයි.. ඔයාලගෙ ජීවිත කාලෙම එහෙම වෙන්න කියලයි මගෙ නම් ප්‍රාර්ථනාව...

Tuesday, March 11, 2014

මා අන්තවාදියෙක්මි???


..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

       මේ කතාවට පාදක වෙන්නෙ මීට කලිනුත් මගේ පෝස්ටුවක කතාවට පාදක වෙච්ච මගේ මුහුණුපොතේ ඉන්න හොඳ යෙහෙලියකගෙ මුහුණුපොතේ මේ ළඟකදි පළවෙච්ච එක ස්ටේටස් එකක්....

මෙන්න ඒක -
 "මං සිංහලයෙක් වුනේ මතක ඇති දා ඉඳන් සිංහල කතා කරපු නිසා..
මං බෞද්ධයෙක් වුනේ අම්මා, තාත්තා බෞද්ධ නිසා..
මං ශ්‍රි ලාංකික වුනේ මේ රටේ ඉපදුනු නිසා..
ඒත්, "ශ්‍රි ලාංකික සිංහල බෞද්ධයෙක්" කියන එක කොච්චර ආඩම්බර කාරණයකද කියලා මං දැන ගත්තේ මුහුණු පොතේ ඉන්න, fake profile වලින් සුරංගනා කතා කියන අයියලා නිසා..

අනේ වාසනාවන්.."

වඩාත් හොඳයි කියල හිතෙනව මෙතන ඉඳන් අපි දෙන්න අතර ගිය කමෙන්ට් සංවාදය ඒ විදියටම දැම්මොත්.

මම -"ඔව්... හැබැයි මේවත් අමතක කරන්න එපා නංගො, ඔයාට ඉපදුන දවසෙ ඉඳල සිංහල වෙන්න කතා කරන්න සිංහල භාශාවක් තිබුනෙ අපේ මුතුන්මිත්තො එහෙම දෙයක් අපිට ඉතුරු කරල දීපු නිසා, ඔයාට බෞද්ධ වෙන්න ඔයාගෙ අම්ම තාත්තටත් එයාලගෙ අම්ම තාත්තටත් අදහන්න බුදුහාමුදුරුවො නිර්වාන මාර්ගය පසක් කරල දුන්න නිසා, නැත්තම් මෙලහකටත් ඔයත් අර අඳුරෙ අතපතගාගෙන පේන සෑම දේ සැබෑව කියන මිථ්‍යාවෙ වෙලිල,

 ඔයා ශ්‍රී ලාංකික උනේ ඔයාට ඉපදෙන්න ශ්‍රී ලංකාව කියල රටක් ඉතුරු වෙලා තිබුන නිසා, එහෙම නොවී මේ රට ඒ කාලෙම මහ මුහුදට යට වෙලා තිබුන නම් ඔයා අද ඇත්තටම මේ ලෝකේ කවදාවත්ම සිදු නොවුන විදියෙ සුරංගනා කතා අහ අහ, මවාගත්තු ලෝකවල සුපර්මෑන් ල ස්පයිඩර්මෑන්ල වෙන්න හීන දැක දැක ලොකු වෙච්ච ලමා කාලයක් ඉතුරු වෙච්ච, කරන්න තියෙන හැම වරදක්ම කරල ඒ වැරදි වෙන කෙනෙක්ට පටවල නිර්දෝෂී වෙන හෝ ලෝකෙ වැටෙන්න පුලුවන් පහත්ම තැනකට වැටිච්ච කෙනෙක් වෙලා ඔයා හරිම වාසනාවන්තයි කියල හිතාගෙන ජීවත් වෙයි.

ඒත් කඩතුරාවෙන් වැසිච්ච සැබෑ ලෝකයෙ වාසනාවන්තකම මොකක්ද, සතුට කියන්නෙ මොකක්ද කියන එක ජීවත් වෙනව කියන්නෙ මොකක්ද කියන සැබෑ යථාර්තය නම් ඔයා කවමදාවත් තේරුම්ගන්න එකක් නැති වෙයි නංගො...

ඔය අයියල කියපු සුංගනා කතා මොනවද කියල නම් මම දන්නෙ නෑ, හැබැයි ඔයා ශ්‍රී ලාංකික සිංහල බෞද්ධයෙක් වෙච්ච නිසා ඔයාට චූටි කාලෙ ඉඳලම සුරංගනා කතා වල ජීවත් නොවුනු සැබෑ වීරවරයොයි, සුරංගනා කතා වල එන වීරවරයොයි අතර වෙනස නම් දැනගන්න ලැබෙන්න ඇති වෙන මොනව නැතත්..
"

ඇය - "අයියේ සිංහල කතා නොකරා නම් මම වෙන භාශාවක් කතා කරයි.. බුද්ධාගම විතරක්ම නෙමෙයි මේ ලොකේ තියෙන එකම ආගම.. මනුස්සයෙක් බෞද්ධයෙක් නෙමෙයි කියන්නෙ, ඒ මිනිහා මෝඩයෙක් කියන එක නෙමෙයි.. මන් ලංකවේ ඉපදුනේ නැත්තන් වෙන රටක ඉපදෙයි.. ලංකාවේ ඉපදුනා කියන එක ඔච්චර ආඩම්බර වෙන්න කාරණයක් නෙමේ.. මං "ශ්‍රී ලාංකික සිංහල බෞද්ධයෙක්" වෙච්ච නිසා මට ලැබිච්ච කිසිම දෙයක් නෑ.. මගේ ජීවිතේ තියෙන්නේ මං මනුස්සයෙක් නිසා ලැබිච්ච දේවල් විතරයි.. හා මං මගේ ජීවිතේ හදාගත්ත දේවල් විතරයි.. ඔය කියන විදිහට ශ්‍රී  ලාංකික සිංහල බෞද්ධයෙක් වීම පට්ට Luck එකක්.. එත් මේ රටේ "ලාංකික සිංහල බෞද්ධ" මිනිස්සු කී දාහක් වේල් තුන කන්න නැතුව දුක් විදිනවද?? කෝ ඔය කියන "ලාංකික සිංහල බෞද්ධ සතුට" ?? අපි හැමොම මිනිස්සු.. අයියගේ කතාවනම් මාර ලස්සනයි, ලොකු ලොකු වචන ගොඩායි..
ඒත් කිසිම තෙරුමක් ඒ වචන වල නැති එක ගැන මට දුකයි.."

මම - "මනුස්සයෙක් තමන්ගෙ අම්ම තුන් වෙනි පන්තියෙ කුලී වැඩ කරන කෙනෙක් උනත් තමන්ගෙ අම්ම ගැන ගොඩක් ආඩම්බරයි ඒ මනුස්සය ඉංජිනේරුවෙක් උනත්. ඒත් මේ සමාජෙ ඉන්නව තමන්ගෙ මවුන් ගැන එහෙම ආඩම්බරයක් නැති.. ඒ අය ගැන මටත් ඇත්තටම දුකයි... එහෙම අයට තමයි තමන්ගෙ මවුන් පවා අමතක වෙන්නෙත්!!

"මනුස්සයෙක් බෞද්ධයෙක් නෙමෙයි කියන්නෙ, ඒ මිනිහා මොඩයෙක් කියන එක නෙමෙයි"කියන එකෙන් මිනිස්සු මෝඩයො වෙනව කියල මම කොහෙවත් කියලත් නෑ කියන්නෙත් නෑ.. ඒත් ආගමකට විතරක් සීමා නොවිච්ච විද්‍යාවක් වෙච්ච මේ බුද්ධ ධර්මය තරම් යතාර්ථවාදී සත්‍ය කතා කරන ආගමක් වෙන නැතිම තරම්. ආගම අනුගමනය නොකර ඒ ඇත්ත තේරුම් නොගත්ත "නමට බෞද්ධ" අයට නම් මේ කතාව නිකම් පුස් දෙයක් වගේ තමයි නංගො.. 

"සිංහල වෙන්න කතා කරන්න සිංහල භාශාවක් තිබුන නිසා" කිවුව මිසක සිංහල නොතිබුනා නම් ඔයා වෙන භාෂාවක් කතා කරයි තමයි. ඒක එහෙම නෑ කියන්නෙ නෑ නෙ මම..ආඩම්බර වෙන්න කිවුවෙ ඔයා ඔය කතා කරන සිංහල භාෂාව ක්‍රිස්තු පූර්ව යුගයටත් වඩා පරණ ඉතිහාසයක් තියෙන, ලියන්න කියන්න දෙකටම භාවිතා කරන්න පුලුවන් ඉතිහාසයක් තියෙන නිසයි. මොකද ක්‍රිස්තු පූර්ව යුග වල බිහිවෙච්ච සමහර භාෂා වල අක්ෂර හෝඩියක් නෑ.. මම ආඩම්බර වෙන්න ඕන ඇයි කියල පැහැදිලි කරා විතරයි.. ආඩම්බර වෙන හෝ නොවෙන එක ඔයාගෙ වැඩක් නංගො... 

ඔයා දන්නවද නංගො ඇයි ඔයා මනුස්සයෙක් වෙලා ඉපදුනේ කියල??? ඇත්තම කියන්නකො බලන්න... 

"මන් ලංකවේ ඉපදුනේ නැත්තන් වෙන රටක ඉපදෙයි.. ලංකාවේ ඉපදුනා කියන එක ඔච්චර ආඩම්බර වෙන්න කාරණයක් නෙමේ.." ඔයා ලංකාවෙ ඉපදුනේ නැත්තම් වෙන රටක ඉපදෙන්නෙ නෑ කියල මම කිවුවෙ නෑ නංගො... ඔව් ඔව්.. මේ යන විදියට මට දැන් නම් හිතෙනව.. ඔයාට ලංකාවෙ ඉපදිච්ච එක ආඩම්බරයක් නෙමෙයි කියල... ලංකාවෙ නෙමෙයි මොන රටේ ඉපදුනක් ඔයාට ඒක ආඩම්බරයක් නෙමෙයි.. සමහර විට.... 

"මේ රටේ "ලාංකික සිංහල බෞද්ධ" මිනිස්සු කී දාහක් වේල් තුන කන්න නැතුව දුක් විදිනවද??" ඔයා හිතනවද නංගො ලාංකික සිංහල බෞද්ධ උන නිසයි එයාලට එහෙම උනේ කියල?

"ලොකු ලොකු වචන ගොඩායි.." මේ කතාවෙ ලොකු ලොකු වචන දකිනව නම් ඒක නංගිගෙ භාෂාව ගැන තියෙන දැනුමෙ ප්‍රශ්නයක් නංගො... මගෙ කතාව සම්පූර්ණ සරල සිංහල.. ලොකු ලොකු වචන කියල නංගි මේව දකිනව නම් ඇත්තටම නංගි සිංහල භාෂාව කතා කරන එක ගැන ආඩම්බර නෙමෙයි දුක් වෙන්න ඕන තමයි... එතෙනදි මේ භාෂාව ගැන මෙහෙම නම් බොහෝ දුරට වෙනස් භාෂාවක් උනත් එමම වෙන්න ඉඩ තියෙනව නංගි ට... "

ඇය - "ඔයා "ශ්‍රී ලාංකික සිංහල බෞද්ධයෙක්" නිසා ඔහොම කතා කරයි.. වෙන ආගමක වුනා නම් එහෙම කතා කියයි.. විහිලුවක් නේද?"

මම - "අනිත් ඒවට උත්තර නෑ කියන්නෙ මම කියපුව හරි කියල පිලිගත්ත කියන එකද නංගො?

ඒක ඔයාට විහිලුවක් උනාට මම නම් හිතන්නෙ නෑ බහුතර අනෙක් අයට විහිලුවක් කියල.. මොකද වෙන ඕනම රටක් ජාතියක් තම තමන්ගෙ රට ජාතිය ගැන ආඩම්බරයි තමන් වදාපු මවුන් සේම... එහෙම නැති නිසයි නංගිට මේක විහිලුවක් වගේ පේන්නෙ.... පොඩ්ඩක් කල්පනා කරල බැලුවොත් හොඳයි නේද නංගො?"

ඇය - "ඔයාට මට වගේම මේ ලොකේ ඉන්න හැමොටම තමන්ගේ ආගම වටිනවා.. මන් බුදු හාමුදුරුවන්ට වගේම, ජේසුටත් ආදරෙයි..මන් ආස නැ.. කිසිම මිනිහෙක්ව පහත් කරලා කතා කරනවට, මන් ඔනෙ තරම් දැකලා තියෙනවා ඔයාලා වගෙ මිනිස්සු ශරෙ කරන දෙවල්.. ඔයාලා තමයි ජාතිවාදය අවුස්සන්නෙ.. මහා ලොකු සිංහලයො..
උත්තර තියෙනවා අයියෙ.. ඔයාලා වගේ මිනිස්සුත් එක්ක කතා කරලා වැඩක් නැ..
" 'Never argue with an idiot. They will only bring you down to their level and beat you with experience.'" 
so no point of arguing with you.. thank you for the conversation.."

මම - "ඔව්. කාටත් තමගෙ ආගම වටිනව තමයි. බලන්න මම කියල තියෙනව ද උබලට උබලගෙ ආගම වටින්නෙ නෑ කියල කාටවත්.... බෞද්ධයො කියනව එයාලගෙ ආගම ගැන එයාල ආඩම්බරයි කියල, ඒ අතරම ක්‍රිස්තියානි ධර්මය අදහන අය කියනව එයාල එයාලගෙ ආගම ගැන ආඩම්බරයි කියල... ඒකෙ ගම්‍ය වෙන්නෑ ක්‍රිස්තියානිනි ආගම අදහන අය බෞද්ධයින්ව පහත් කරල කතා කලා කියල වත් බෞද්ධයින් ක්‍රිස්තියානි ආගමිකයින්ව පහත් කලා කියලවත්... එතන ප්‍රශ්නෙ තියෙන්නෙ නංගි දාගෙන ඉන්න කණ්නාඩියෙ, දකින විදියෙ ප්‍රශ්නයක්.

පුංචි නිවැරදි කිරීමක්. බුදුහාමුදුරුවො කවමදාවත් දේශනා කරල නෑ එතුමන්ට ආදරේ කරන්න කියල. එතුමන් කියල තියෙන්නෙ තමන් මේ දේශනා කරන යතාර්ථය අවබෝධ කරගන්න කියල.... ආදරෙයි කියල කියපු වචනෙන්ම තේරෙනව නංගො ඔයා මේ ප්‍රශ්නෙ දිහා බලන අමුතු කණ්නාඩිය ගැන.  
බුද්ධ ධර්මය ශාස්තෲන් වහන්සේට ආදරේ කිරීම ධර්මය කියල උගන්වන ආගමක් නෙමෙයි නංගො... ආදරේ කියල වචනයක් නෑ ධර්මයෙ. ඊට වඩා උතුම් වචනයක් තියෙනව මෛත්‍රිය පතුරවන්න කියල. මොකද ආදරේ කියන්නෙ ඇලීමක්. බුදුදහම ඇලීම අනුමත කරන්නෙ නෑ.. මම දන්නෙ නෑ නංගිගෙ අම්මයි තාත්තයි බෞද්ධ උන නිසාවත් නංගි බුද්ධ දේශනාව හරියට ඉගෙනගන තියෙනව ද කියල....

ජාතිවාදයයි ජාත්‍යාලයයි කියන්නෙ කතා දෙකක්... නංගිට මොනව නැතත් ඒ දෙක නම් හොඳටෝම පැටලිලා නංගො...

සමහර දේවල් තියෙනව, ටිකින් ටික තේරුම් ගනිද්දි ඒක තේරුම් ගන්න බැරි වෙන තරමට සංකීර්ණ වෙනව කියල දැනුනම තමන්ගෙ මනසට තේරුම්ගන්න බෑ කියල දැනුනම ඒක තේරුම් ගන්න දරන උත්සහය අත ඇරල ඒකට මොකක් හරි විකල්ප යොදන අවස්ථා ඒ දේ අත හරින්න... ඒත් ඒකෙන් අදහස් වෙන්නෙ නෑ ඒක හැමෝටම තේරුම්ගන්න බෑ කියන එක... " 'Never argue with an idiot. They will only bring you down to their level and beat you with experience.'"  

නංගි ශ්‍රී ලාංකික සිංහල බෞද්ධ වීම ගැන ආඩම්බර නෑලු. ඒත් වෙන ජාතීන් ඒ තම තමන්ගෙ ජාතීන් ආගම් ගැන ආඩම්බර වෙන බව පිලිගන්නව. ඒක විහිලුවක් ලු... විහිලුවට උනත් පිලිගන්න වෙනව නංගො එහෙනම් ඒ ජාතීනුත් ඒ ආගමිකයිනුත් මම වගේම අන්තවාදීන් කියල නංගි ඔය කියන විදියට.... "

මා ජාතිවාදියෙක් ද? මගේ කතාවෙ අඩුපාඩු පහදල දෙන්න පුලුවන් ද? මේ කියන විදියට මම IDIOT ද?? :-D


Tuesday, December 31, 2013

--වාසනාවට ඇත්ත කතාවක්--"

..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."


      මේක මගෙ යාලුවෙක් මේ ළඟකදි කියපු කතාවක්. මේ යාලුවව මට හම්බ උනෙ ගම්පහ ගාඩර් එක උඩදි... ඒ එනකොටත් තව කවුද අයියල දෙන්නෙක් එක්ක එයා හිටියෙ. මට නම් කිවුවෙ චැනල් ෆයිව් එකේ මොකක්ද එකකට සෙට් උනා කියල... එයා කියපු කතාවත් එක්ක මට හිතුන.. සමහර කොල්ලන්ගෙ ඇත්තම කතාවත් මේ වගේමයි නේද කියල.. ඒ නිසා ඕන දෙයක් වෙන්න කියල ඔන්න ඒකත් මම ලියල දැම්ම... මේකට හේතු වෙච්ච එයාගෙ කතාව මම මේ විදියට එයාගෙම වචන වලින් දාන්නම්..

 "  ඒ කාලෙ බොන්න ඕන... සල්ලි නෑ.. හැබැයි ඇති වෙන්න බොන්න හම්බ වෙනව නිකම්ම...

   ඊට පස්සෙ... බොන්න ඕන.. ඒත් සල්ලි නෑ.. හැබැයි ඇති වෙන්න බොන්න හම්බ වෙනව නිකම්ම.... ඒත් සල්ලි නොදී බොන්න අකමැති නිසා වැඩිය බිවුවෙ නෑ...

   මම එහෙම වෙච්ච නිසා ඊට පස්සෙ, බොන්න ඕන... බොන්න සල්ලිත් නෑ, නිකම් බොන්න හම්බ වෙන්නෙත් නෑ..
 

     දැන් මට බොන්න එහෙමට උවමනාවක් නෑ, ඒත්... මට ඇති වෙන්න.. බොන්න සල්ලි තියෙනව, ඇති වෙන්න බොන්නත් හම්බ වෙනව නිකම්ම...
 ඒත් මම දැන් බොන එක පස්සෙ යන්නෙ නෑ, එහෙමට කියල බොන්නෙත් නෑ...බොන්න උවමනාවකුත් නෑ..."

මම මේ කියන්නෙ ගොඩක් පෝසත් සල්ලි තියෙන පිරිමි ළමයි ගැන නෙවෙයි.. මේ කතාව, ඒ තරම්ම සල්ලි නැති යාන වාහන නැති සාමාන්‍ය පංතියෙ පවුලකට ඉපදෙන ටිකක් විනෝදයට බර වගකීම් වැඩිය නැති උසස්පෙළ කරන වයසෙ කොල්ලො ගැන..

             මම ඉතුරු ටික කියන්න යන්නෙ නෑ... ඔය මගෙ යාලුව කියපු කාරණා ටික කියවල බලල ඔයාලම කමෙන්ට් එකක් දාල යන්නකො.. මම මේ කියන කතාවෙ යම් කිසි ගැළපීමක් තියෙනව නේද කියල..
කෙටවල


             ඔය කියන මගෙ යාලුවට උසස්පෙළ කරල ඉවර වෙච්ච කාලෙ හරියට යාලුවො හිටිය... ඒ අතරෙ ටිකක් යහමින් සල්ලි තිබුන අයත් හිටිය. ඒ කාලෙ විනෝදයටමයි බර... ජීවිතේ කිසිම වගකීමක් බරක් දැනෙන්නෙ නැති කාලයක් නෙ...
           බොන එක හොඳයි කියනව නෙමෙයි.... ඒත් මම මේ කතා කරන්නෙ යථාර්තය ගැන. ඒ කාලෙ ජීවිතේ කියන්නෙ කොල්ලො ටිකක් එක්ක සෙට් වෙලා බොන එක, ෆන් ගන්න එක, හොරෙන් නාන්න ට්‍රිප් යන්න එහෙම සෙට් වෙන එක.. පිස්සු වැඩ කරන එක, විශේශයෙන්ම කැපී පෙනෙන්න උත්සහ කරන එක, මෝඩ වැඩ කරන එක එහෙම.. අනිත් වැදගත්ම දේ වලි වලට එහෙම යන එක... ඒක ඔය කාලෙ වයසෙ හැටියක් නෙ.... මොන්ටානා එකට හැරෙන පාර ළඟ කේක් කඩේ ඉස්සරහ කල්ලි ගැහෙන, කල්ලි ගැහිල තියෙන කොල්ලො නම් මේ කියන කතාව හොඳටම දන්නව නෙ..

 
අලවල
           හැබැයි මම මේ කතා කරන මගෙ යාලුවත් අන්න ඒ කල්ලි වල හිටපු කෙනෙක් ඉස්සර... ඒ චරිතයෙ ඉස්සරයි අදයි වෙනස එදා හොඳටම මම දැක්ක ඒ ගාඩර් එක උඩ හම්බ උන මොහොතට.... වචන වලට කියාගන්න බැරි උනත් උසස් පෙළ කරන, කරපු කාලෙ නිදහසේ වගකීම් නැතුව ගෙවපු සරල නිදහස් ජීව්තේ ගැන ලොකූ කතාවක් ඒ ඇත් ඇතුලෙ ලියවෙලා තියෙනව මම දැක්ක...

අලුත් මිණුවන්ගොඩ පාර


             බලන්න ඔයාලටත් මම මේ කියපු විදියෙ ජීවිතයක් තිබුන ද කියල ඒ කාලෙ... සාහර විට සමහර අය නම් මේ දවස් වල ගෙවන්නෙ මේ කියපු ජීව්තේ... ඒත්.. මේ වෙනකොට ඔය මම කියපු විදියෙ ජීවිතයක් ගත කරපු, මේ පෝස්ට් එක කියවන ගමන් ඒ කාලෙ කරපු වැඩ මතක් කර කර හිනා වෙන, දුක් වෙන අය මේ වෙනකොටත් පෝස්ට් එක කියවන එක පැත්තකට දාල තමන් ගත කරපු ඒ ලස්සන කාලෙ ගැන බෝම ලස්සන චිත්ත රූපයක් මවාවෙගෙන ඒක රස විඳිනව  ඇති... අන්න ඒ අයට මගේ මේ කතාව වෙන කාටවත්ම වඩා හොඳටම දැනේවි...

සතුටු වෙන්න, දුක් වෙන්න එපා.. කවද හරි අපිට සතුටු වෙන්න ඉතුරු වෙන්නෙ ඔය ටික විතරමයි... --මතකයන්--- 

--මතක වස්තුව-- ලියන පවනි තරංගා