මේ මොහොතේ නවලෝක රෝහලේ හයවෙනි තට්ටුවෙ කාමරේක සඳළුතලයෙ ඉන්න මට, දහවල පුරා ප්‍රචණ්ඩකාරීව හැසිරුණු මහ බලවත් සූර්යයා බස්නාහිර අහස් කෙළවරේ අඳුරු වළාවකට හිස නමාගෙන බැසගෙන යනව හරි අපූරුවට පේනව...කවදත් මම හඳට වඩා ආදරේ කලේ "ඉර" ට. මට තවමත් තේරුම්ගන්න බෑ මේ අරුම පුදුම පුද්ගලය ගැන. හැමෝම කියන දෙයින් මම අදහස් කරන සියලුම ජීවී අජීවී වස්තූන් ආදියෙ පැවැත්ම පවතින්නෙ එයා මත වන නිසයි. ඒත් ඒ තරම් බලසම්පන්න පුද්ගලය හවස හය විතර වෙද්දි තිබිච්ච ආඩම්බරකම්, දඩබ්බරකම්, ප්‍රචණ්ඩකම් සියල්ල අත ඇරල හරිම නිහතමානීව අපිටත් ආයුබෝවන් කියාගෙනම යන්න යනව. ඒ පුද්ගලයගෙ බලය හොරකම් කරගෙන පාවිච්චි කරන අයට, දඬුවම් කරන්න විතරක් නෙමෙයි විනාසම කරන්න පුලුවන් වුනත් එයා එහෙම නොකරන එක ගැන මට හරිම පුදුමයි. (ඒ කාලෙ නම් එහෙම හිතුනට දැන් නම් මට ඒක පුදුමයක් නෙමෙයි)
දැන් වෙලාව හයයි තිස් අටයි. දැන් එයා නැහැ. ඒත් තවමත් එයා ලෝකය ලස්සන කරමින් ඉන්නව. මම මේ ඉන්න අංක හයසිය දෙක කාමරේ නැවතිලා හිටපු කිසිම කෙනෙක් මේ දර්ශනය දකින්න තරම් වාසනාවන්ත වෙන්න නැතුව ඇති. ඒ ඇයි කියන්න නම් මට තේරෙන්නෙ නැහැ. ( සමහර විට මේ කාමරය වායුසමීකරණය කරල තියෙන නිසා වෙන්න ඇති. අවුරුදු ගාණකට ඒ දොර ඇරල නම් නැති බව ඒකෙ තිබුන දූවිලි වලිනුත්, දොර හිර වෙල තිබුන තරමිනුත් තේරුණා. කොහෙද ඉතින් මටත් ඕන්නැති කෙහෙම්මලක් නෑ නෙ)
ඉර එළිය බස්නාහිර අහසෙ වැහි වළාකුළු වලට වැටෙනකොට අහසෙ ඇඳෙන සිතුවම, ඒ දුබල ආලෝක ධාරාව එක්ක ඇඟේ රෝම කූප වලට දැනෙන ඒ ස්පර්ශය... ඒ හැඟීම... කලාත්මක අදහස් තියෙන ස්වභාවධර්මය රසවිඳින්න පුලුවන් කෙනෙක්ට හැර වෙනත් කෙනෙක්ට නම් ඒක විඳින්න ටිකක් අපහසුයි කියලයි පවනි නම් කියන්නෙ. ඒ හැඟීම ඒ ස්පර්ශය ඇඟේ රෝම කූපයක කෙළවරට සිත මෙහෙයවල විඳගන්න පුලුවන් නම්, ඒක අසීස් දෙවඟනගේ මුදු මොලොක් තොල්පෙති සිපගන්නවට වැඩි තෘප්තියක් ඒකෙන් ලබන්න පුළුවන් කියලයි මට නම් හිතෙන්නෙ....
ඒ අතරෙ මම ගොඩක් ආදරේ කරන මගේ දුක අහන නිල් අහස කළු වළාකුළු වසාගෙන ඉන්නව. තවමත් ඉර එළිය යාන්තමින් කාන්දු වෙන වළාකුළු හිදැසක් අතරින් පේන මගේ දයාබර නිල් අහසට ගොඩාක් ආදරණීය රහසක් මම කීව. දැන් ඉතින්....තවදුරටත් ඒක රහසක් නෙමෙයි. දැන් ඒක නිල් අහසත් දන්නව. දැන් එයත් බලාගෙන ඉඳීවි...ඒ රහස... ඒ මගේ හීනය සැබෑ වෙයි ද කියල..... අනේ මට ඒ සිත්තම නැවත නැවත විඳගන්න ඒක සිත්තම් කරගන්න කැමරාවක් මගෙ ළඟ තිබුන නම්.....